සතර සතිපටඨාන
සතර සතිපටඨාන යන ධර්ම පර්යාය ශ්‍රී සද්ධර්මයේ ආශ්චර්යමත් ඉගැන්වීමකි. සද්ධර්මයෙන් බාහිර වෙනත් කිසිදු දර්ශනයක මෙවන් සම්පූර්ණ වූ විමුක්ති මාර්ගයක් සදහන් නොවේමය. මන්දයත් සතර සතිපටඨාන වූකලි සත්වයන්ගේ විමුක්තිය උදෙසා වූ ඒකායන මාර්ගයයි.සතිපටඨාන යන වචනයේ අර්ථය නම් සිහිය පිහිටුවීමයි. මෙය හෙළ බසින් සිව් සීවටන් ලෙස හැදින්වේ. මෙලෙස සිහිය පිහිටුවීම සිදුකළයුතු විෂයන් සතරෙකි. ඒවා දීඝ නිකායේ මහා සතිපට්ඨාන සූත්‍රයේ දීර්ඝව හා සම්පූර්ණව ව්‍යාකරණය කරනු ලැබ තිබේ.මහා සතිපට්ඨාන සූත්‍රය දේශනා කරනු ලැබ ඇත්තේ කුරු රට කෞරවයින්ගේ කල්මාෂ දම්‍ය නම් නියම් ගමේදීය. මේ කුරු රට වර්තමානයේ දිල්ලිය පිහිටි ප්‍රදේශයයි. අතීත ඉන්දියාවේ පැවති විශ්වාඅසයක් වූයේ කුරු රටේ වැසියන් ඉතා ශූර හා බුද්ධිමත් බවයි. මෙවන් ගැඹුරු දේශනාවක් කුරු රටේදි සිදුකිරීමට එය හේතුවක් විනැයි පඩිවරයෝ පවසති.
මහා සතිපට්ටාන සූත්‍රයේ අන්තර්ගතය ඉතා සන්ක්ෂේපයෙන් විග්‍රහ කිරීම මේ ලිපියේ අරමුණ වේ. සතිපටටාන සූත්‍රයේ ආරම්භය මෙසේය
ඒකායනො අයන් භික්කවේ මගගො , සත්තානන් විසුධ්ධියා සෝක පරිද්දවානන් සමතික්කමාය , දුක්ඛ දෝමනස්සානන් අත්ථන්ගමාය ,නිබ්බාණස්ස සච්ඡිකිරියාය. යදිදන් චත්තාරො සතිපටඨානො
මහණෙනි මේ සතර සතිපටඨානය වනාහි සත්වයන්ගේ චිත්ත පාරිශුද්ධිය පිණිස්ත් ශෝක වැළපීම් ඉක්මවීම පිණිසත් කායික හා මානසික දුක් පහකිරීම පිණිසත් ලෝකොත්තර නිර්වාණය සාක්ෂාත් කරණු පිණිසත් ඇති එකම මාර්ගයයි.
මේ සතර සතිපටඨාන නම්
1) කායානුපස්සනා - කය පිළිබදව නුවණින් මෙනෙහි කිරීම
2)වේදනානුපස්සනා - වේදනාවන් පිළිබද නුවණින් මෙනෙහි කිරීම
3)චිත්තානුපස්සනා - සිත පිළිබද නුවණින් මෙනෙහි කිරීම
4)ධම්මානුපස්සනා- ධර්මයන් කෙරෙහි නුවණින් මෙනෙහි කිරීම.
කායානුපස්සනා
කායානුපස්සනාවේදි කය පිළිබදව සිහිය පිහිටුවයි. හිසේ සිට පාදාන්තය දක්වා ඇති සමස්ත ශරීරය බාහිරවද අභ්‍යන්තරවද නුවණින් නිරීක්ෂණය කරනු ලබයි.
මෙහිදී මනස මනා සිහිනුවණින් යුක්ත විය යුතු අතර නොකිළිටි විය යුතුය.
තථාගතයන් වහන්සේ කායානුපස්සනාවට අනුබද්ධව කර්මස්ථාන රැසක් දේශනා කරනු ලැබ ඇත. ඉන් පළමු වැන්න නම් ආනාපානසති භාවනාවයි.
අනාපානසතිය නම් ආශ්වාස ප්‍රශ්වාස වායු කය ගැන සිහිය පිහිටුවීමයි. ආශ්වාස කරනවිට එය නුවණින් තාමා ආශ්වාස කරන්නේයැයි දැනගත යුතුය. ප්‍රශ්වාස කරනවිට දැන් ප්‍රශ්වාස කරමියි දැනගත යුතුය. දීර්ඝව ආශ්වාස ප්‍රශ්වාස කරන විට දීර්ඝව ආශ්වාස ප්‍රශ්වාස කරමියි දැනගත යුතුය. කෙටියෙන් ආශ්වාස කරනවිට කෙටියෙන් ආශ්වාස ප්‍රශ්වාස ප්‍රශ්වාස කරමියි දැනගත යුතුය . මෙලෙස ආශ්වාස ප්‍රශ්වාස දෙස නුවණින් බලාසිටින්නාට ආශ්වාස ප්‍රශ්වාසයේ හටගැනීමත් එහි සන්සිදීමත් වැටහේ. ඔහු ක්‍රමයෙන් ආශ්වාසයන් සන්සිදුවිය යුතුය. එවිට ආශ්වාස ප්‍රශ්වාසයන් නිමිත්තක් ලෙස අරමුණු වේ. ඒ නිමිත්ත වැඩීම ඉතා ප්‍රණීතය එමගින් කය සන්සිදේ , මනස සන්සිදේ. එලෙස පවිත්‍ර වූ මනසින් සතර සතිපටඨානයන් වැඩීම ඉතා පහසු වේ.
කායානුපස්සනාවේ අනුබද්ධිත කර්මස්ථාන පහත පරිදි වේ.
1) ආනාපානසතිය
2)ඉරියාපථ පබ්බය - තමා සිටින ඉරියව්ව ගැන සිහිය පිහිටූවීම
3)සම්පජඤ්ඤ පබ්බය -තමා කරන කාර්යයන් නුවණින් සලකා බලමින් සිහිය පිහිටුවීම ( අවිදීම , කෑම , ඇදුම් ඇදීම )
4)පටික්කූල මනසිකාර පබ්බය -දෙතිස් කුණප ගැන සිහිය පිහිටුවමින් මෙනෙහි කිරීම
5)ධාතු මනසිකාරය - කය සැකසුණු සතරමහා ධාතුන් ගැන සිහිය පිහිටුවීම
6)නව සීවථිකය - මියගිය ශරීරයකට කාලයත් සමග සිදුවන දිරාපත් වීම නුවණින් මෙනෙහි කිරීම
වේදනානුපස්සනාව
වේදනාවන් සුඛ දුක්ඛ ලෙස දෙයාකාර වේ. එසේම සුඛ වේදනා , දුක්ඛ වේදනා හා උපේක්ෂා වේදනා ලෙස තෙයාකාර වේ. එලෙසම ඇසේ , කණේ , දිවේ , නාසයේ , කයේ හා මනසේ හටගන්නා සැප දුක් උපේක්ෂා වේදනා ලෙස දහ අට ආකාරද වේ
( පඤ්චකන්ග සූත්‍රය )
වේදනානුපස්සනාවේදි මේ ආකාර වේදනාවන් මනාව හදුනාගනිමින් ඒ ඒ අවස්ථාවේදි අසවල් වේදනාව විදිමියි මනාව මෙනෙහි කළ යුතුය. එලෙසම වේදනාවන්ගේ සන්සිදීයාමද දැනගතයුතුය. මේ අයුරින් මෙනෙහිකරන විට වේදනාවන්ගේ අනිත්‍ය ස්වභාවය ප්‍රත්‍යක්ෂ වේ. තණහා දිටඨි විරහිතව වේදනාවන් යනු මමය මාගේය යන හැගීමෙන් තොරව ගත කිරීම වේදනානුපස්සනාවයි.
චිත්තානුපස්සනාව
සිතේ හටගන්නා සිතුවිලි හදුනා ගැනීමට තරම් සියුම්වූ මට්ටමකට සතිපටඨානය දියුණු වීම සිදුවූ විට මේ භාවනාවන් වඩනු ලැබේ.මෙහිදි
1) රාග සිත , පහවූ රග සහිත සිත
2) ද්වේෂ සිත , පහවූ ද්වේෂ සහිත සිත
3) මෝහ සිත , පහවූ මෝහ සහිත සිත.
4)නිරවුල් (ඒකාරම්මණ ) සිත , වික්ෂිප්ත සිත.
5) මහත්ව වැඩුණු සිත , මහත්ව නොවැඩුණු සිත
6)උත්තම හා අති උත්තම සිතුවිලි
7)සමාධිගත සිත හා අසමාධිගත සිත
8)සන්යෝජනයන් සහිත සිත හා සන්යෝජනයන්ගෙන් මිදුනු සිත
වෙන් වෙන්ව දකිමින් භාවනානුයෝගිව වාසය කළ යුතුය.
ධම්මානුපස්සනාව
ධර්මයන් නුවණින් දැකීම ධර්මානුපස්සනාවයි.
මේ ධර්මයන් නම්.
1) පන්ච නීවරණ
2)පන්චස්කන්ධ
3) ආයතන සය
4)සප්ත බොජ්ඣන්ග
5)චතුරාර්ය සත්‍ය
මේ ආකාරයෙන් සතිපටඨානය වඩන්නා අවසානයේදි තම සිත සියළු කෙලෙසුන්ගෙන්ද සන්යොජනයන්ගෙන්ද මනාව මිදී ඇති බවත් චතුරාර්ය සත්‍ය තමාට මැනවින් වැටහෙන බවත් දැනගනී. තමා අජරාමර සන්ඛ්‍යාත ශාන්ත සුන්දර ලෝකෝත්තර අමෘත මහා නිර්වාණය සාක්ෂාත් කර ඇති බවද මනාව දැනගන්න ආශ්‍රවක්ෂය ඤාණය අවබෝධ කරන්නේය.
No comments:
Post a Comment