Monday, May 19, 2014

ශ්‍රී සද්ධර්මයේ ආශ්චර්යවත් හෙළිදරව්ව 03 කොටස

              බෞද්ධ ධාතු විග්‍රහය හා විද්‍යාව


ධාතු යන වදනෙහි අර්ථය නම් සන්ඝටකය, මූලික ඒකකය යන්නයි. ශාරීරික ධාතු යන්නෙන් ශරීරයක අවශේෂ ද්‍රව්‍යද ලෝකධාතු යන්නෙන් විශ්වයේ තැනුම් ඒකක වන් මන්දාකිණිද අදහස් වීම නිදසුන්වේ. තථාගතයන් වහන්සේ මේ ධාතු යන වචනය සර්වඥතා ඤාණයෙන් තමන් වහන්සේට ගෝචර වූ පදාර්ථ හා ශක්තීන්ගේ අතිශය තන්මාත්‍ර තැනුම් ඒකක හැදින්වීමට යෝග්‍යතම වචනය ලෙස දුටු සේක. සූත්‍ර පිටකයේ සූත්‍ර ගණනාවකද සම්පූර්ණ අභිධර්ම පිටකයේද විස්තර වන ධාතු විග්‍රහය තරම් භාග්‍යවතුන් වහන්සේගේ සර්වඥතා ඤාණය ප්‍රත්‍යක්ෂ කෙරෙන ධර්ම පදාර්ථයක් වේ නම් ඒ සියලු ධාතු  සහිත පරමාර්ථ එකිනෙක හා අන්‍යෝන්‍ය ලෙස අන්තර්ක්‍රියා කරන ප්‍රත්‍ය විග්‍රහය හෙවත් මහා පට්ඨානයයි.මේ ලිපියේ අභිලාශය නම් ඒ පරම ගාම්භීර ධාතු විග්‍රහය හා නූතන විද්‍යාත්මක ඤාණය සැසදීම වුවද එය ඉතා දුශ්කර කාර්යයකි. මන්දයත් නවීන භෞතික විද්‍යාවෙන් මේ ධාතු විග්‍රහයට පියවර ගණනාවකින් වත් ළගාවී නැත. එය පවතින ස්ථානය ඉතා පහත් ළදරු අවධියකි. ඒ ගැන මෙය කියවන විට පැහැදිළි වනු ඇත.

අභිධර්මයේ සහ අටුවා වල සදහන් වන අති ගම්භීර දහම් ඉතා පිඩු කොට සරලව පහදනුයේ පාඨකයන්ගේ දැනුම පිළිබද පූර්වානුමාන නොකළ හැකි බැවිනි. එනිසා මේ ප්‍රයත්නය යොදුන් අසූහාරදහසක් ගැඹුරු සමුද්‍රය සිය වාලධියෙන් ගොඩ කිරීමට ලේනෙකු කළ උත්සාහයට සම කොට සළකා විඤ්ඤූන් සමාධිය භජනය කෙරේවා.

       සුවාසූ දහසක්   - යොදුන් ගැඹුරැති මුහුදක්

       ගොඩ කරමැයි උදක් - ලෙහෙනු කළ තැත් වැන්න දවසක්


අභි ධර්මයේ පරමාර්ථ සතරින් රූප පරමාර්ථය නම් සම්පූර්ණ ධාතු විග්‍රහය වේ. ඊට අනුව සියල්ලෙහි සන්ඝටක ධාතු රූප විසි අටක් ලෙස දක්වනු ලැබේ. මෙයින් සතර මහා භූත රූප හා උපාදාය රූප පමණක්ම මේ ලෙඛනයට විෂය ක්ෂේත්‍ර වන්නේය. අනෙක් ඒව මෙසේය.
1.පඨවි – තද ස්වභාවය.
2.ආපෝ – බැඳෙන ස්වභාවය.
3.තේජෝ – උණුසුම් ස්වභාවය.
4.වායෝ – චලනය වන ස්වභාවය.
5.චක්ඛු – වර්ණය හා හැඩය ප්‍රතිග්‍රහණය.
6.සොත – ශබ්ද ප්‍රතිග්‍රහණය.
7.ඝාණ – ගන්ධ ප්‍රතිග්‍රහණය.
8.ජිව්හා – රස ප්‍රතිග්‍රහණය.
9.කාය – ස්පර්ශ ප්‍රතිග්‍රහණය.
10.වණ්ණ – වර්ණ ප්‍රකට කිරීම.
11.සද්ද – ශබ්ද ප්‍රකට කිරීම.
12.ගන්ධ – ගන්ධ ප්‍රකට කිරීම.
13.රස – රස ප්‍රකට කිරීම.
14.ස්ප්‍රෂ්ටව්‍ය_පඨවි තේජෝ වායෝ ඡායාවකි
15.පුරිසින්ද්‍රිය – පුරුෂ ලක්ෂණ ප්‍රකට කිරීම.
16.ඉත්ථින්ද්‍රිය – ස්ත්‍රී ලක්ෂණ ප්‍රකට කිරීම.
17.ජිවිතින්ද්‍රිය – ජිවය පවත්වා ගැනීම.
18.කාය විඤ්ඤත්ති – කය ක්‍රියා කරවීම.
19.වාක් විඤ්ඤත්ති – වචන ක්‍රියා කරවීම.
20.ලහුතා – සැහැල්ලු බව.
21.මුදුතා – මෘදු බව.
22.කම්මඤ්ඤතා – කර්මණ්‍ය බව.
23.උපචය – පළමුව ඇතිවීම.
24.සන්තිති – ඇතිවී පැවතීම.
25.ජරතා – දිරීම ප්‍රකට කිරීම.
26.අනිච්චතා – වෙනස්වීම ප්‍රකට කිරීම.
27.ආකාස( පරිච්ඡේද ) – අවකාශය වෙන් කිරීම.
28.ආහාර ( ඕජා) – ශක්තිය ලබාදීම.
මේ  සියල්ල සෑදුණු රූප කොටස් වේ. මෙයින් ආපෝ, තේජො ,වායෝ , පඨවි යන රූප මහා භූත රූප වේ වණ්ණ, ගන්ධ ,රස ,ඕජා උපාදාය රූප වේ.මේ රූප කිසිවකට තනිව ඉපදීමට තනිව පැවතීමට නොහැකිය. මේව පවතින්නේ රූප කලාප ලෙසයි. එනම් මේ රූප කොටස් එකිනෙක හා විවිධාකාරයෙන් බද්ධ වී පවතී. එලෙස බද්ධ වන්නේ රටාවකට අනුවය. අඩුම රූප ගණනක් එක්වී සෑදෙන් රූප කලාපය නම් ශුද්ධාෂ්ටකයයි. මෙය සතර මහා භූත රූපත් උපාදාය රූපත් එක් වී සෑදේ. මෙයට අනෙක් රූප අනුකලනය වී නවක කලාප, දසක කලාප, ඒකාදසක කලාප ආදිය ඇතිවේ මෙහිදී ශුද්ධාෂ්ටකය ගැන පමණක් සාකච්ඡා කරනු ලැබේ.ශුද්ධාෂ්ටකය අතිශය සියුම් වූ පරම රූපය වේ. මීට වඩා කුඩා හෝ මීට වඩා බෙදුණු කිසිදු රූපයක් නැත. එනම් තනි තනි මහා භූත රූප . ඒවා දෙක දෙක හෝ තුන තුන බැදුණු රූප නොමැත්තේමය. එහෙත් එකම ශුද්ධාෂ්ටකය අනන්ත වූ ස්වරූපයන්ගෙන් යුක්ත වේ එනම් ශුද්ධාෂ්ටකය තුළ සතර මහා භූතයන් සියල්ල තිබුණද එක් එක් අනන්ත වූ මාත්‍රා වලින් එක් ධාතුවක් හෝ කීපයක් ප්‍රකට වේ . මේ නිසා ශුද්ධාෂ්ටකය විචිත්‍ර වූ ප්‍රභේද රාශියකින් යුතු වේ .මීට හේතුව නම් එය තුළ ධාතුන් සන්කලනය වන ආකාරයේ විවිධත්වයයි. ශුද්ධාෂ්ටකය තුළ ධාතු සන්කලනය වන ආකාර මෙසේය.
1. එකක් අනෙක් තුන තුලට වැදී
2. දෙකක් අනෙක් දෙක තුළට වැදී
3. එකිනෙක හා සර්වප්‍රකාරයෙන් බැදෙමින් ඉහත පරිදි
4. එකිනෙකා ඇසුරු කරමින් ඉහත පරිදි
මේවාට වණ්ණ ගන්ධ රස ඕජා යන උපාදාය රූප එක්වන ආකාරයෙන්ද ආකාශ රූපයෙන් එක් එක් රූප පිණ්ඩය වෙන් වීමෙන් හා රූප පිණ්ඩය තුළ එක් එක් ධාතූන් පරිච්ඡේද වීමෙන්ද අනන්ත වූ ප්‍රභේද සහිත ශුද්ධාශ්ටක හට ගනී.මේ ශුද්ධාශ්ටක මෙන්ම ඕනැම රූප කලාපයක් බිහිවීමට ප්‍රත්‍ය හතරකි. ශුද්ධාෂ්ටකයට වෙනත් රූප එක්වී නවක , දසක රූපකලාප නිර්මාණය වන්නේද මෙම ප්‍රත්‍ය කරණ කොටය.
1.කර්මය
2.චිත්ත ( සිතුවිලි )
3.උතු ( උෂ්ණත්වය, පීඩනය වෙනස් වීම් )
4.ආහාර ( අනන්‍ය ලෙස බාහිරින් එක්වන රූප කොටස් )

බුදු දහම අනුව සියලු පදාර්ථ මෙන්ම ශක්තීන්ද මෙම රූප කලාප එක්වී සෑදේ . මෙලොව ඇති සියලු වස්තූන් අතර මේ විවිධත්වය රූප කලාප වල ප්‍රකට වීමේ විවිධත්වය නිසා ඇති වේ. උදාහරණයක් ලෙස පාෂාණයක් හා ආලෝකය සළකමු . මේ දෙකම ශුද්ධාෂ්ටක එක් වී සැදේ. එහෙත් පාෂාණය සෑදුණු ශුද්ධාෂ්ටකවල පඨවි ධාතුවද ආලෝකය සැදුණු ශුද්ධාෂ්ටක වල තේජෝ ධාතුවද ප්‍රකට වේ.

දැන් පදාර්ථය හා ශක්තිය පිළිබද නූතන විද්‍යාවෙන් පෙන්වා දෙන දේ සොයා බලමු. මේ ප්‍රපන්ච ද්විත්වය ගවේෂණය පිණිසම විද්‍යාව සැකසී ඇත්තේයැයි පැවසුවොත් නිවැරදිය. සැබවින්ම පදාර්ථය ගවේෂණය පිණිස රසායන විද්‍යාවද ශක්තිය ගවේෂණය පිණිස භෞතික විද්‍යාවද බිහිවී ඇත.විද්‍යාව අනුව එකිනෙකට වෙනස් මූල ද්‍රව්‍ය 90 කින් පමණ විශ්වය නිර්මාණය වේ. මේවා එකිනෙකින් වෙනස් වන්නේ ප්‍රධානවම ඒවායේ සන්ඝටක වන නියුට්‍රෝන , ප්‍රෝටෝන හා ඉලෙක්ට්‍රෝන වල වෙනස්කම් නිසාය. ඊට අමතරව තවත් ප්‍රධාන උප පරමාණුක අන්ශූන් 130 ට වඩා සොයාගෙන ඇත. තවත් විශාල ප්‍රමාණයක් නිරීක්ෂ්ණය කර නැති අතර ගුණාත්මකව හා ප්‍රමාණාත්මකව උපකල්පනය කර ඇත. මේ උප පරමාණුක අන්ශු සෑදෙන්නේ කෙසේ දැයි නිශ්චිත ආකල්පයක් නැත ක්වාර්ක් වාදය මගින් මේවාගේ තැනුම් ඒකක උපකල්පනය කළද එහි ස්වභාවය ගැන විවිධ මත රැසකි. ඒවායින් සමහරක් කොන්ටම් වාදයට ඉදුරා පටහැනිය. 
එහෙත් මේ උප පරමාණුක අන්ශූන් සෑදෙන්නේ ශුද්ධාෂ්ටක එක් වීමෙන් බව ඉතා හොදින් පැහැදිළි වේ. ඊට නිදර්ශන සපයන්නට උසස් පෙළ රසායන විද්‍යා පරීක්ෂණයක් වන කැතෝඩ කිරණ නලය උපයෝගී කර ගත හැකිය.

 මෙහි ඉලෙක්ට්‍රෝන කදම්බයක් කැතෝඩ නලය හරහා යයි.
1) මේ කදම්බය හරහා තල බඹරයක් තැබූ විට එය භ්‍රමණය වේ. මෙමගින් ඉලෙක්ට්‍රෝන වලට ස්කන්ධයක් ඇතැයි ඔප්පු වේ.
2)එසේම ඉලෙක්ට්‍රෝන අඩු විභවයකට ගලායයි. (කැතෝඩයේ සිට ඇනෝඩයට )තවද විදුලි රැහැනක් තුළද මෙලෙස ගලයි
3) ඉලෙක්ට්‍රෝන ධාරාවක් ඕනාම සන්නායකයක ගලායන විට එය රත්වේ ( ප්‍රතිරෝධය නිසා ඝට්ටනය වීමෙන් ).මෙහි ලා කොළ පාටින් ආලෝකවත් වේ
4)සැබෑ ස්තිථියේදි ඉලෙක්ට්‍රෝන වලට නිශ්චිත පිහිටීමක් නොමැත නිරතුරුව සසම්භාවි චලනයේ යෙදේ.( පරමාණුවක් තුළ ඉලෙක්ට්‍රෝනය පවතින ස්ථානය නිශ්චිත නැත සම්භාවිතාවක් පමණක් දැක්විය හැක )Heissenberg uncertainity


මේ උදාහරණ වලින් ඉලෙක්ට්‍රෝනය තුල 1)පඨවි 2)ආපෝ 3)තේජෝ 4)වායෝ ධාතු 4 ම පවතින බව පැහැදිලි වේ . එනම් එයද ශුද්ධාශ්ටකාදි ධාතු කලාප එක්වී සෑදුණු අන්ශුවකි. අනෙක් සියලු උප පරමානුක අන්ශුද මෙසේය.ප්‍රෝටෝනය තුළ මෙම ධාතු හතරම පවතින ආකාරය ධන කිරණ නලය ආදර්ශයෙන් දැක ගත හැකිවේ. දැන් සියලු පදාර්ථ වල සන්ඝටක ලෙස මේ ශුද්ධාෂ්ටක අඩන්ගු බව පැහැදිළිය එනිසා ශක්තීන් සලකා බලමු. මෑතක් වන තුරු පදාර්ථ හා ශක්ති වෙනස්ම ක්ෂේත්‍ර දෙකක් ලෙස සැළකුණි. එහෙත් කොන්ටම් වාදය හා සාපේක්ෂතා වාදයෙන් මේ ක්ෂේත්‍ර දෙක සම්පූර්ණයෙන්ම එක් කරන ලදී.
කොන්ටම් වාදයේ මූලික පදනම වන්නේ ශක්තීන් අන්ශුමය ස්වභාවයකින් යුතු වේ යන්නයි. එහෙත් අද වන තුරුත් කිසිවෙක් ආලෝකය හෝ විද්‍යුත් චුම්භක තරන්ග වල සන්ඝටක අන්ශු ( පදාර්ථ වල පරමාණු මෙන් ) සොයාගෙන නැත. මෙනිසා සාපේක්ෂතා වාදයේ හා කොන්ටම් වාදයේ සමීකරණ යොදන්නට විද්‍යාඥයන් බොරුවක් කරති. එනම් ආලෝකය ෆෝටෝන නම් කල්පිත අන්ශු වලින් සෑදී ඇතැයි උපකල්පනය කිරීමයි. මේ මගින් ආලෝකයේ කොන්ටම් ආචරණ පහදා දිය හැකි වේ.

මෙය තවදුරටත් විසදා ගැනීමට අවස්ථා විපර්යාසය ධාතු වාදයෙන් පහදන අයුරු බලමු. ද්‍රව ජලයේ ආපෝ ධාතුව ප්‍රකට වේ මෙය රත් කරනවිට ජලයේ සන්ඝටක ධාතු රූප වලින් වායෝ ධාතුව ප්‍රකට වීමට පටන්ගනී . මෙයින් ජලය වාෂ්පීකරණය සිදුවේ. උෂ්ණත්වය නම් උතු ප්‍රත්‍යය මගින් රූප කලාපය වෙනස් කිරීම මීට හේතුවයි . අනෙක් ප්‍රත්‍ය 3 න්ද මෙය කළ හැකිය. මෙය ඉතා සරල පහදා දීමකි අවස්ථා විපර්යාසයට වඩා සියුම් ධාතු පරිවර්තනයක් දැන් සළකා බලමු. මෙය රසායනික එන්තැල්පියයි. ඕනෑම ප්‍රතික්‍රියාවක් සිදුවීමට එන්තැල්පිය අඩු වී එන්ට්‍රොපිය වැඩි වීම ඉතාම හිතකර තත්වය වේ. මේ ශ්‍රිතයන් දෙකම ධාතු අන්තර්ක්‍රියා කිරීමෙන් ඇති වන්නකි. පදාර්ථ හා ශක්තිය අතර ඇති සම්බන්ධය මෙයින් විද්‍යමාන වේ. රසායනික බන්ධනයක් සෑදෙන්නේ ඉහත කරුණු තෘප්ත වන පරිදිය. 
මීටත් වඩා සියුම් ආකර්ෂනීය උපමාවක් දැන් පෙන්වා දෙමි.
 ආලෝකය අන්ශු සමූහයක් ලෙස කොන්ටම් වාදයෙන් ප්‍රකාශිතය.මෙය ඉතා හොදින් බුදු දහම හා ගැළපේ. ඒ අනුව ආලෝකය තේජෝ ප්‍රකට ශුද්ධාශ්ටක සමූහයකි. එහෙත් ආලෝකයේ පඨවි , ආපෝ , තෙජෝ හා වායෝ ධාතු හතරම අඩන්ගු වේ. කර්මය, චිත්ත , උතු හා ආහාර ප්‍රත්‍යයෙන් මෙහිද ධාතු සැකැස්ම පරිවර්තනය විය හැකිය. මෙය සාපේක්ෂතා වාදයයි. පාෂාණය හා ආලෝකය අතර සබදතාව සාපේක්ෂතා වාදය අනුව පෙන්විය හැකිය.

 පාෂාණය  අධික  වේගයෙන් ප්‍රක්ෂේපණය කළ හොත් කුමක් සිදු වේද. ක්‍රමයෙන් එහි ස්කන්ධය ක්ෂය වේ. ක්ෂය වන ස්කන්ධය
 සමීකරණය අනුව ශක්තිය බවට පත්වේ. මෙය මීට වඩා පැහැදිළි ලෙස ධාතු වාදයෙන් පහදා දිය හැක්කේය.ප්‍රවේගය නම් උතු ගුණයේ වෙනස් වීමේ පත්‍යයෙන් පාෂාණයේ ප්‍රකට වූ පඨවි ධාතුව අප්‍රකට වෙමින් තේජො ධාතුව ප්‍රකට වීම මීට හේතුවයි. ප්‍රකාශ විද්‍යුත් කෝෂයෙන් පැහැදිළි වන මෙහි විලෝමයද මෙසේය.

සාපේක්ෂතා වාදය අනුව ආලෝකය ස්කන්ධයට ආකර්ෂනය වේ. මෙය විද්‍යාඥයන් මවිත කළ සිද්ධියකි. එහෙත් මෙය සම්පූර්ණයෙන් සත්‍ය බව මෑත කාලීන නිරීක්ෂණ වලින් පැහැදිළි විය.
පෘථිවියේ ගුරුත්ව ක්ෂේත්‍රය හමුවේ ආලෝකය නැමී ගමන් කරයි. අධික ස්කන්ධයක් ඇති කලු කුහර ආලෝකය ආකර්ෂණය කර ගනී. ආලෝකයට ඒවායෙන් මිදීමක්ද නොවේ. මෙනිසා කළු කුහර කළු පාටින් දිස්වේ. මෙලෙස ආලෝකය ස්කන්ධයට ආකර්ෂනය වන්නේ ඇයි. එය එසේ වීමට නම් ආලෝකයේ ස්කන්ධයක් තිබිය යුතුය .( නිව්ටන්ගේ ගුරුත්වාකර්ෂණ නියමය )
 එහෙත් එලෙස ස්කන්ධයක් ආලෝකයේ නැත. මෙනිසා විද්‍යාඥයන් කරන්නේ තවත් සන්කල්පීය අන්ශුවක් වන ග්‍රැවිටෝනය ඉදිරිපත් කිරීමයි. එහෙත් ආලෝකයේ පඨවි ධාතුව අඩන්ගු බව අප දනිමු. පඨවි ධාතුව බහුල වූ පෘථිවිය හා කළු කුහර වෙත ආලෝකයේ අප්‍රකට වූ පඨවි ධාතුව ආකර්ෂණය වීම මේ නිරීක්ෂණ වලට හේතුවයි.ධාතු ධාතු අතර ඇතිවන ආකර්ෂණයන් සූත්‍ර වලද සදහන් වන්නකි.
 මෙවැනි අතිශය සූක්ෂ්ම වූ ධාතු විග්‍රහය තථාගතයන් විසින් දේශනා කරනු ලැබුවේ තමන් වහන්සේගේ සර්වඥතාව පෙන්වනු පිණිස නොවේ. ධාතු ආයතන ආදියේ අවිච්ඡින්න පැවැත්ම හෙවත් සන්සාරය ක්ෂය කරනු පිණිසමය. 
                       බන්ධානන්චෙව පටිපාටි 
                       ධාතු ආයතනානිච
                       අබ්බෝච්ඡින්නන් වත්තමානා
                                 සන්සාරෝති පවුච්චති .
                       

3 comments:

  1. තවත්.මෙලෙස සද්ධර්මය ප්‍රචාරණය කිරීමට ධහිර්‍ය්ය මෙන්ම ශක්තිය ලැබේවායි ද ඔබට සියලු දෙවි දේවතාවුන්ගේ ආරක්ශාව නොමදව ලබේවායි ද පතමි !

    ReplyDelete
  2. ඉතා හොඳ, තර්කානුකුල, බුද්ධිමත් විග්රහයක්...

    ReplyDelete