Thursday, September 1, 2016

ජම්බුද්වීපය යනු කුමක්ද?

ජම්බුද්වීපය යනු කුමක්ද? 


ජම්බුද්වීපය යන වචනය ඇසූ පමණින් බොහෝ දෙනාට ඉන්දියානු අර්ධද්වීපය මැවී පෙනීම සාමාන්‍ය දෙයකි. නමුත් ඒ පිළිබදව නොයෙකුත් නිර්වචන ඇත්තේය . ඉන් සමහරක් වෙත අවධානය යොමු කිරීම වටී.
පුරාණ ග්‍රන්ථ අනුවද පැරණි බෞද්ධ ග්‍රන්ථ අනුවද සුවිශාල ජම්බු වෘක්ෂයක් (Syzygium cumini)හේතුවෙන් මෙයට යථොක්ත නාමය අන්වර්ථ වේ. මෙය නම් ඇතමුන්ට හාස්‍යොත්පාදක විය හැක. නමුත් එය සදහන් වේ. ජම්බුද්වීප යන්න දඹ දිව යනුවෙන් හෙළයට තත්භව වේ. ඉන් කිසියම් යථානුරූප අර්ථයක් විද්‍යමාන වේ. දඹ යන්න හෙළයෙන් ජම්බු වලට මෙන්ම ගිරි ශිඛර වලටද පර්යාය නාමයකි..ගිරිශිඛර සහිත භූමිය යනුවෙන් ඉන්දියාව හැදින්වීමට කිසිවෙකුත් විරුද්ධ නොවනුයේ ලොව උසම ගිරි ශිඛර එහි ඇති නිසාය. නමුත් කදු ඇත්තේ ඉන්දියාවේ පමණක් නොවේ. එසේනම් වෙනත් ප්‍රදේශද දඹදිව නොවන්නේ කෙසේද?
දඹදිව යනු ශ්‍රී ලන්කාවය යන මතය ගෙනහැර දැක්මීමට ගෙතූ ප්‍රබන්ධ නිශ්කාරණ , අතාර්කික හා අහේතුක  හෙයින් ඒ කෙරෙහි මෙහි අවධානය යොමු කිරීම නිෂ්ඵල වේ.බුද්ධ දේශනාවේ හා අටුවා වලද පෞරාණික ධ්‍යාන ලාභී සෘෂි මත යැයි සැළකිය හැකි වේද හා හින්දු ග්‍රන්ථ වලද අනුසාරයෙන් ජම්බුද්වීපය ගවේෂණය කිරීම මෙහි ප්‍රයත්නය වේ.


ශුද්ධ දේශනාවේ ලෝක ප්‍රඤප්තිය ලෙස පෘථිවිය  හා භූමි මණ්ඩලය ගැන දැක්වෙන දේශනා අල්ප වේ. ඒ එසේ විය යුතුමය මන්ද ලොව අග මුල දෙසීම බුද්ධ කෘත්‍යයක් නොවන හෙයිනි.නමුත් ජාතක හා වෙනත් අතීත සිද්ධි ගෙනහැර දැක්වීමෙහිදීද චක්‍රවර්ති රජුන්ගේ රජය විස්තර කිරීමෙහිදීද ජම්බුද්වීපය ගැන සදහන් කර ඇත.  අටුවාචාරීන් විසින් ජම්බුද්වීවය තම තම නැණ පමණින්ද සමකාලීන විශ්වාසයන් අනුවද පැරණි සෘෂි මත අනුවද නොයෙක් ලෙස විස්තර කරනු ලබයි.මේ අතරින් විශුද්ධි මාර්ගයේ ලෝක විස්තරය අතීතයේද වර්තමානයේද බොහෝ විද්වතුන්ගේ විවේචනයට බදුන් වේ. නමුත් එයින් බුදු දහමට වන කැළලක් නැත මන්ද එහි දැක්වෙන ලෝක දෘෂ්ටිය වනාහි හින්දු විශ්වාසයකි. එය මෙහි දක්වනු නොළබේ විශුද්ධි මාර්ගය සොයාගෙන කියවන්න. නමුත් විශුද්ධි මාර්ගයේද සදහන් වන සියලු කරුනු බුදු රදුන් දෙසූ වචන බව සත්‍යය. නමුත් දෝෂය නම් එහි වැරදි සන්විධානයයි.තථාගතයන් වහන්සේ ලෝකය පිළිබදව දේශනා කර ඇති බව ත්‍රිපිටකයේ දීඝ නිකායේ මහා පාථික සූත්‍රයෙන් පෙනේ.නමුත් ත්‍රිපිටකය සන්ග්‍රහ කිරීමේදී  අසම වූ ප්‍රඥාවෙන් යුත් මහ රහතුන් විමුක්ති සන්වර්තනික ධර්ම හැර අන්‍ය වූ දේශනා සන්ග්‍රහයෙන් වැළකුණි. මන්ද තථාගතයන් වහන්සේගේ එක් දේශනාවක් වුව ඉතා දීර්ඝය. එයම වත්මන් ත්‍රිපිටකය තරම් දික්විය හැකිය. උන්වහන්සේටම පමණක් එවැනි දීර්ඝ දේශනා කල හැකිය. උන්වහන්සේම එවැනි දේශනා අවබෝධ කරලීමේ ශක්‍යතාවෙන් යුක්තය . එය උන්වහන්සේගේ සම්මා සම්බුද්ධවයයි. අනෙකෙකුට එය කළ නොහැක. සියලු තථාගත දේශනා එක් කොට ග්‍රන්ථ සම්පාදනය කෙරේ නම් බඹ ලොවටද වඩා උසට කන්දක් ගොඩ ගැසිය හැකි වනු ඇත.එවනි සම්භාරයක් වනපොත් කොට ගෙන ඒම බ්‍රහ්මයන්ටද නොකලැකි වේ.  සියලු ග්‍රන්ථ පරිශීලනයෙන් අප ලත් දැනුමද අනුව  අත්තානුමතයෙන් එකග විය හැකි යැයි දැනෙන්නා වූ   තථාගත දේශනාවේ සදහන් වන්නාවූ ද අටුවාචාරීන් බොහොමයක් එකග වන්නා වූ ද සෘෂි භාෂිතයට පටහැනි නොවන්නාවූ ද ජම්බුද්වීපය පිළිබද වූ විස්තරය මෙසේය.මේ සූත්‍ර රාශියක කරුණු සම්පිණ්ඩනයකි.


මේ මහා චක්‍ර වාටයේ යම් නිශ්චිත ස්ථානයක  සමුද්‍රය තුළ ගිළුණු ප්‍රමාණය යම් තරමක්ද ඊට සමාන ප්‍රමාණයක් ඉස්මතු වූ චතුරස්‍රාකාර හරස්කඩකින් යුක්ත වූ සතර පැත්ත වර්ණ සතරකින් යුක්ත වූ මහ මෙර ( සුනෙර ) නම් වූ පර්වතයක් ඇත්තේය.ඒ පර්වතය වටකරමින් අර්ධ කවාකාරව විහිදෙන කදු වැටි බදු සටහනින් යුතු වූ පර්වතයෝ සතක් ඇත්තේය. ඒවාහි උස ක්‍රම ක්‍රමයෙන් අවරෝහණය වේ. ඒ වා එකිනෙක වටකරමින් ඇති පිළිවෙල මෙසේය . මහමෙරට වහාම යාබදව එය වට කරමින් යුගන්ධරය පිහිටා ඇත. ඉන් පසු ඊශ ධර , කරවීක , සුදර්ශන , නේමින්ධර , අශ්වකර්ණ හා චින්තක යන පර්වත ඒ අයුරින් පිහිටා ඇත.මේවා ගැන බොහෝ විස්තර අටුවා වළ ඇත. මේවාගේ උස ගැනද පළල ගැනද සදහන් වේ. ඒවා අත්තනෝමතිකව මග හරින ලද්දේ ඒ උස ප්‍රමාණ බුද්ධ දෙශනාවේ නැති නිසාත්. හින්දුන්ගෙන් ණයට ගත් බව පෙනෙන නිසාත් හා වර්තමාන විද්‍යාවට අනුව වැරදි බව පෙනෙන නිසාත්ය. නමුත් සමුද්‍රයේ ගිළුණු යන වචනය මා අකමැති නමුත් බුද්ධ දේශනාවේ එසේම සදහන් වන බැවින් මෙහිද දක්වා ලූයෙමි.
එබැවින් සමුද්‍රය අර්ථ නිරූපණය කරමු. අප දන්නා සමුද්‍රය නම් පෘථිවියේ මහාද්වීප වටකරමින් පැතිරී ඇති සාමාන්‍ය ගැඹුර අඩි 36200 ලවණ  වූ ජලයෙන් පිරුණු ජලස්කන්ධයයි. නමුත් පාලි සන්ස්කෘත භාෂා වල වෙනත් අර්ථයෙන්ද සමුද්‍රය යන්න භාවිත වේ. සන්ස්කෘතයෙන් ක්ෂීර සමුද්‍රය යනු තාරකා පිරි දෘශ්‍යමාන ආකාශයයි.  ක්ෂීර පථය යනුද එයයි. එය ශිව දෙවියන්ගේ හිස්මුදුනින් ඇරඹෙන බව හින්දු සමයේ දැක්වේ. ඒ අනුව මේ සමුද්‍රය ක්ෂීර පථය ‍යැයි සිතීම අපගේ උවමනාව නමුදු මහමෙර සැබවින්ම ජලයේ ගිළී ඇතැයි කියා යමෙක් සිතුවද ඉන් මෙය අවබෝධයට බාධාවක් ඇති නොවේ.




                                               ශ්‍රී යන්ත්‍රය ධ්‍යාන ලාභී සෘශීන්ගේ ලෝක දැනුම හා හින්දු මහාමෙරුවේ ස්වභාවය දැනගනීමට මාර්ගයකි

මහමෙර හා සත්කුළු පව් සන්යුක්තයෙන් දක්ශින දිශාවේ ජම්බුද්වීපය පිහිටා ඇත්තේය.උතුරින් උතුරු කුරු දිවයිනද , නැගෙනහිරින් පූර්ව විදෙහයද , බටහිරින් අපර ගොයාණයද පිහිටයි. මේවා සතර මහාද්වීප නම්වේ, එක් එක් මහාද්වීපය හා සමග පන්සියය බැගින් කොදෙව් ඇත. සතර මහාද්වීප හා කොදෙව් මනුෂ්‍යයන්ට වාසස්ථාන වේ. සත් කුළුපව් හා ඒ අතර පිහිටි සීදන්ථ සාගර ඇතුළු කොදෙව් චාතුම්මහාරාජික දිව්‍ය ලෝකය නම් වේ. ජාති සතරකට අයත් දෙවියෝ ( යක්ෂ , ගාන්ධර්ව, කුම්භාණ්ඩ , නාග ) මෙහි සතර දිශාවේ විවිධ රාජධානි වල වෙසෙති  , සතරවරම් දෙව් රජ වරු ඔවුනට අධිපතිව වැජඹෙති.විශාල වර්ගඵලයකින් යුත් මහමෙර මුදුනේ ද්වෙඇනි දෙව් ලොව වූ තාවතින්සය ( තව්තිසාව ) පිහිටා ඇත. නොයෙක් උද්‍යාන , විමාන වනාන්තර , ගන්ගා , පුෂ්කරණි , නගර වලින් ගහණ තව්තිසාවේ සුර නම් වූ එක් වර්ගයකටම අයත් දිව්‍ය සමූහයා වාසය කරයි.සුරයන්ට අධිපති වූ ශක්‍ර නම් පදවිය හොබවන මහේශාක්‍ය දෙවියන් තව්තිසාවද  චාතුම්මහාරජිකද යන දෙදෙව් ලොව රජය  කරවයි.මේ දිව්‍ය ලෝකද දෙවියන්ද මනුෂ්‍යයන්ට නොපෙනේ. දෙවියන්ට මනුෂ්‍යයන් පෙනේ. ධ්‍යාන ලාභීන්ට පමණක් මේව දර්ශනය වේ. ඔවුන්ටම මේවාට යා හැකිය. අන්‍ය මනුෂ්‍යයන් යාමට කැමති වේනම් නිසි පරිදි දාන ශීලාදි පින්කම් කොට දේවතානුස්මෘතියේ සිට කලුරිය කළයුතුය. නැතහොත් සුළුගුළු උපාසක මෙන් යා හැක්කෙකු හා යා යුතුය.මනුෂ්‍යයන්ට දෙව් ලෝ තබා මනුෂ්‍යලෝකයවත් නොපෙනේ. ජම්බුද්වීප වාසින්ට අනෙක් මහාද්වීප නොපෙනේ . ඔවුන්ට දඹදිව නොපෙනේ. සතර මහාද්වීප අතර නෞකා මගින් සන්චාරය කළ අයෙක් නොමැත. ධ්‍යාන බලයෙන්ම ඒවා අතර යා හැකිය.මනුෂ්‍යයන්ට දෙව් ලෝ තබා මනුෂ්‍යලෝකයවත් නොපෙනේ. ජම්බුද්වීප වාසින්ට අනෙක් මහාද්වීප නොපෙනේ . ඔවුන්ට දඹදිව නොපෙනේ. සතර මහාද්වීප අතර නෞකා මගින් සන්චාරය කළ අයෙක් නොමැත. ධ්‍යාන බලයෙන්ම ඒවා අතර යා හැකිය. සතර මහාද්වීප චක්‍රවර්ති රජුන්ගේ ආඥා චක්‍රයට යටත් වේ ඔවුන්ට සතර මහාද්වීප සිසාරා යාමට වාහන පහළ වේ. ඔවුන්ගේ සේනාවටත් යා හැකිය. මෙකල්හි  සක්විති පදවිය පුරප්පාඩුය. එසේ හෙයින් සතර මහද්වීප ගවේශණයට හැකි මනුශ්‍යයෙක් වේනම් ධ්‍යාන ලාභීන් පමණි. කසිණාරම්මණයෙහි අර්පණා අවස්ථාවේ කසින මණ්ඩලය තුළින්  උතුර බලූඔ කල්හි මහමෙර පෙනේ ‍යැයි අටුවා වල දැක්වේ.සතර මහාද්වීප වල සිටින මනුෂ්‍යයන් සමාන නොවේ. මින් අපර ගොයාණ හා විදේහ වල මිනිසුන් ගැන සූත්‍ර වල කරුණු නැත. උතුරු කුරු වැසියන් ගැන දැක්වේ. ඔවුන්ගේ ආයුෂය වසර 500 කි. මෙහි අරමුණ ජම්බුද්වීපය ගැන පැවසීම බැවින් උතුරු කුරු දිවයින ගැන මෙහි දක්වනු නොලැබේ.


මෙහි දක්වූ කරුණු අනුව ජම්බුද්වීපය යනු ඉන්දියාව නොවන බව දුර්බුද්ධියක් ඇත්තෙකුට වුව තේරෙණු ඇත.සඤ්ඤා විපල්ලාසය හේතුවෙන් ඉන්දියාවට ජම්බුද්වීප නාමය ව්‍යවහාර වීම අප්‍රිකා මහද්වීපයේ අප්‍රිකාව නමින් තවත් රටවල් පිහිටා තිබීමද , අරාබි අර්ධද්වීපයේ අරාබිය නමින් තවත් රටක් පිහිටා තිබීමද, ඇමරිකා මහාද්වීපයේ ඇමරිකාව නමින් රාජ්‍යයක් පිහිටීමද හා සමාන වේ.සූත්‍ර ආශ්‍රයෙන් තවත් විස්තර නොපෙනෙන හෙයින් හින්දු සමය හා අටුවා වලින් තොරතුරු ලබා ගැනීමට මේ සුදුසු කාලයයි.ඒ සියල්ලම අනුව ජම්බුද්වීපය විශාල භූමිස්කන්ධයකි. සාගරයෙන් සතර පැත්තෙන් වට වූවකි. එය බෙදී නැත. ඒකීය භූමිස්කන්ධයක් වේ.එහි දිග පළල පිලිබද විභජ්ජවාදි  මතය නම් 10000 යොදුන් දිගු බවය සර්වාස්ති වාදින්ගේ මතය 6000 යොදුන් දිගු බවය.බුදු දහමේ කුඩා දිවයින් ගැන මිස වෙනත් මහාද්වීප ගැන නොදැක්වේ. සියල්ල ජම්බුද්වීපයයි. ලෝක විස්තරයේද වෙනත් මහද්වීප වල නිශ්චිත පිහිටීම් ගැන( යුරෝපා, ඇමරිකා ආදි ) නොදැක්වේ. මීට හේතුව සරලය. මන්ද ව්‍යවහාරයේ සියලුමහාද්වීප ජම්බුද්වීපයට අයත් වේ.  එසේ නොමැතිව දැක්වූ තරම් විශාල භූමිස්කන්ධයක් අපට නොපෙනේ.එසේ නම් එක් භූමිස්කන්දයක් වන්නේ කෙසේද? ලෝකයේභූමිය බෙහෙවින් බෙදී විශාල භූමිස්කන්ධ 4 කින් යුතු වේ. ( අප්‍රිකාව යුරෝපය හා ආසියා සන්යුක්තය , ඕස්ට්‍රෙලියාව , ඇමරිකා දෙක හා ඇන්ටාක්ටිකාව ) මීට හේතුව ඝණ බොල් මහ පොළොවටද සාධාරණ වූ අනිත්‍ය ලක්ෂණය මිස අනිකක් නොවේ . ලෝක සිතියමද අනිත්‍ය වේ. අද ලෝක සිතියම තව වසර 1000 කින් මෙලෙස නොවේ. ඇතම් භූමි දිය බත් වේ. ඇතැම් ඒව අළුතින් බිහිවේ. නමුත් සත්‍ය වශයෙන්ම ඊටත් වඩා වෙනස් වේ. මහාද්වීප එක් ස්ථානයක දිගටම රැදී නොපවතී. ඒවා චලනය වේ.
නූතන විද්‍යාවට අනුවවසර මිලියන 300 ට පෙර මෙලෙස බෙදීගිය මහ පොළොවක් නොවීය. තිබුණේ එකම භූමිස්කන්ධයකි. එය පැන්ජියාව නම් වේ.මේ අදහස මුල් කාලයේ පිළි නොගත් නමුත් පසුව සාධක ගණනාවකින් සනාථ විය. වත්මන් දත්ත අනුව පැන්ජියාවේ දිග ගණනය කළහොත් ආසන්නව සැතපුම් 8600 පමණ වේ

1. භූගෝල විද්‍යාත්මක සාධක : දකුණු ඇමරිකාව හා අප්‍රිකාව ජිග්සෝ ප්‍රහේලිකාවක මෙන් එකට මූට්ටු කළ හැකිය . ඇන්ටාක්ටිකාව හා ඕස්ට්‍රෙලියාවද එසේ මූට්ටු මළ හැකිය. තවත් භොහෝ භූමි සිතියම් මෙසේය. 
2. ජීව විද්‍යාත්මක සාධක : මහද්වීප ඒවායේ ජීවීන් ද සමග විතැන් වූ බව එක සමාන සත්වයන් නොයෙක් මහාද්වීප වල සිටීමෙන් ඔප්පු වේ. ඔවුන්ට පිහිනා හෝ වෙනත් ආකාරයකින් මහද්වීප අතර යා නොහැක. මිනිසුන් විසින්ද ගෙන ගොස් නැත. 
3. පුරාවිද්‍යාත්මක සාධක : ඇන්ටාක්ටිකාවේ ගල් අගුරු හමුවේ. එනම් එහි අතීතයේ බොහෝ ගස් හා සතුන් ජීවත් වී ඇත. නමුත් වර්තමානයේ එය සිදුවිය නොහැක. එකම විකල්පය නම් අතීතයේ ඇන්ටාක්ටිකාව ධ්‍රැවාසන්නයේ නොව සමකාසන්නයේ පිහිටි බව පිළි ගැනීමයි. 




මේ අනුව ජම්බුද්වීපය යනු පැන්ජියාව  බව සනාථ කිරීමට දේශනාවේ කරුණු හොදින් සෑහේ.සර්වාස්ති වාදීන්ගේ හා වේද වල මතය අනුව ජම්බුද්වීපය රථයක හැඩරුවින් යුක්ත වේ. එයද ඉන්දියාව යනු දඹදිව ‍යැයි පිළි නොඝැනීමට හේතුවකි. පැන්ජියාවේ හැඩය රථයක හැඩරුවට බොහෝ සමානය. වර්තමානයේ සකස්කළ පැන්ජියාවේ රූපය නිවැරදි නොවේ. මන්ද අතීතයේ විවිධ සිද්ධීන් නිසා ඇතැම් විශාල භූමි මුහුදු බත් වූ බවට වාර්තා තිබේ.  කුමාරි කන්ද , ඇට්ලන්ටිස් ( අත්ලාන්තිසය ) මේවාට නිදසුන් වේ.ලෝකය පුරා එකම මනුෂ්‍ය වර්ගයක් විසීමද , එය අතීතයේ එක් භූමිස්කන්ධයක් ලෙස පැවතීමද  , ව්‍යවහාරික මහාද්වීප අතර සන්චාරය නෞකා වලින් කළ හැකි වීමද , ඒවා දැක්මට ධ්‍යාන අවශ්‍ය නොකරන හෙයින්ද ,සතර මහාද්වීප යනු සම්පූර්ණයෙන් මුහුදින් වටවූ ද්වීපයන් බව පැහැදිළිව දේශනාවේ දැක්වෙන හෙයින්ද , ඉහත කරුණු හා ගැළපෙන හෙයින්ද පූර්ව විදේහ , ගොයාණ හා උතුරු කුරු දිවයින් විද්‍යමාන පෘථිවියේ පවතින භූමිස්කන්ධ යැයි පිළිගත නොහැක. ඒ අනුව උතුරු කුරු දිවයින යනු චීනය හෝ ටිබෙටය  යැයිද , විදේහය හෝ ගොයාණය යුරෝපය හෝ ඇමරිකාව යැයිද ඉදිරිපත් කරන මත ප්‍රතික්ෂේප කරමි.
මේ සියල්ලෙන් තථාආගතයන් වහන්සේගේ සර්වඥතාව දෙයාකාරයකින් පිළිබිඹු වෙමින් විරෝචනය වේ.


1. අනිත්‍ය ලක්ෂණය ඝණ බොල් මහ පොළොවටද සාධාරණ වූ ධර්මතාවක් වීම.

 කිසිදු දර්ශනයක ලෝකයේ වෙනස්වීමක් ගැන කියා නොමැත. යම් දිනක මවනු ලැබුවේද විනාශකරන්නේ යම් දිනකද ඒ අයුරින්ම පවතින බව දැනටද අන්‍ය ලබ්ධීහු විශ්වාස කරති. දිනක එක් අන්‍යාගමිකයෙකු ගොඩබිම හා මුහුදේ අනුපාතය ඔවුන්ගේ ශාස්තෘන් විසින් නිවැරදිව දක්වා ඇතැයි පැවසීය. එසේනම් එය දැනට නිවැරදි විය යුතුය. තව වසර සීයකින් පසුද වසර සීයකට පෙරද එය වැරදි දෙයකි.  පොළොවේ හරිමැද  පිහිටා ඇතයි පවසන සිද්ධස්ථානයද එසේය . එය දැන් හරි මැදද? එහෙනම් තවත් වසර 100 කින් එය බොරු වේ මන්ද තව වසර සීයකින් එය තවත් උතුරට යාම වැළක්විය නොහැක්කකි.මෙමගින් ඔවුන් තුළ ඇති ස්තිරවාදි ආකල්ප බිදෙනු ඇත.

2.සත්‍ය වූත් විද්‍යාවන්ට අද්භූත වූත් මෙවැනි ලෝක විස්තර කිරීම සර්වඥතා ඤාණයෙන්ම සිදුකළ හැකිය. 

තථාගතයන් වහන්සේගේ දේශනා වල වත්මන් මනුෂ්‍ය ඤාණයට අවිෂය වූ භෞතික වාදයට ගෝචර නොවූ ආශ්චර්යවත් ලෝක විස්තරය අන්තර්ගත වේ. අප දන්නා ගෝලාකර හුදෙකලා පෘථිවිය නොව මේ සක්වල තුළම සාගර හා භූමින්ගෙන් යුක්ත වූ තවත් මනුෂ්‍ය ලෝක තුනක් ඇති බව දැකිය හැක. මනුෂ්‍ය වර්ගයාගේ සන්ඛ්‍යාව වනාහි දෙවියන්ගේ ජනගහණය හා සසදන කල අත්‍යල්ප වේ.ජම්බුද්වීපයේද සියලු ස්ථාන මිනිසාට නොපෙනේ. මේ ජම්බුද්වීපයේ භූමාටු දෙවියන්ට , මහිද්ධික භූතයන්ට , සිද්ධ විද්‍යාධරයන්ට වාසස්ථාන වූ ප්‍රදේශ මිනිසාට ස්වභාවිකවම නොපෙනේ.

ඉසිගිලි පව්වට ඒ නම ලැබුණේ සෘෂීන් ගිල ගනී යන අරුතෙනි . මන්ද එහි විසූ පසේ බුදු වරු කන්දට නගිනු දිස් වුවත් එහි වාසය කරනු මිනිසුන්ට නොපෙණුනු හෙයිනි. සත්‍ය වශයෙන්ම එහි පසේ බුදුහු වාස්ය කලහ. නමුත් උන් වහන්සේලා වාසය කළ ප්‍රදේශය මනුෂ්‍යයන්ට නොදැක්ක හැකිය. ගන්ධ මාදන පර්වතය , හිමාලයේ පිහිටි නොයෙකුත් දිව්‍ය රාජධානි , නාග ලෝකය , ගරුඩ භවන මේ ජම්බුද්වීපයේම පිහිටා ඇති මිනිසුන්ට දුර්ගම වූ ස්ථානයෝය. එවැනි තවත් ස්ථාන බොහෝ වෙති. ඉතිහාසයේ විවිධ අයුරින් වාර්තා වන ප්‍රාදේශීය දෙවි වරුන් , අමනුෂ්‍යයන් ඒ ඒ රටවල මනුෂ්‍ය ගෝචර නොවූ ප්‍රදේශ වල වාසය කළෝ වෙති. ඔලිම්පස් කන්දේ දෙවි පරපුර  , ඇස්ගාඩ් ආදිය එසේවේ. එවැනි ස්ථාන පවා දැක්මට නොහැකි වූ තතවයක හිදින මිනිසුන්ට මේ ජම්බුද්වීපයේ විස්තරය  සැබවින්ම ප්‍රබන්ධාත්මක යැයි හැගෙනු ඇත. නමුත් මෙහි දැක්වූ විස්තර වූකලි ත්‍රිපිටක හා අටුවා ආශ්‍රයෙන් බොහෝ ශුද්ධ කොට දැක්වූ විස්තරයක් බව දත යුතුය.



4 comments:

  1. සම්පූර්ණයෙන් වැරදියි.

    ReplyDelete
    Replies
    1. හෙල ඉතිහාසය වහන්න හදන හිවලෙක් මූ.දැනගනින් බුද්ධ කාලීනව හෙල දීපය,ජම්බුද්දීපය කියන්නෙ අපේ ලංකාවට

      Delete
  2. මේ දූපත ගැන සියල්ල ලියවී ඇත්තේ. කථාව නොගැලපෙන්නෙ අද දකින පෘථිවිය, නොපෙනෙන ලෝක වලට ආදේශ කරන්න ගිහිල්ල.

    ReplyDelete