බෞද්ධ ලිපි

බුදුන් වහන්සේගේ දේශනා ක්‍රමවේදය


තථාගතයන් වහන්සේ දිනකට දෙවරක් උදෑසන හා සවස මිනිසුන් උදෙසා ධර්මය දේශනා කළ සේක . ඒ සෑම දේශනාවටම පෙර පිළිවෙල කතාව නම් එකම දේශනාව ( එහි රැස්වූ දෙව් මිනිසුන්ගේ සිත් සොළොස් ආකාරයකින් බලා වදාරමින් ඔවුනට ගැළපෙන අයුරින් )කරනු ලැබේ. එයනම් දාන කතාව , සීල කතාව , ස්වර්ග කතාව , කාමයේ නිස්සාර බව, කාමයේ පිළිකුල් බව , කාමයේ ආදීනව , කාමයෙන් වෙන්වීමේ ආනිසන්ස හා සාමුක්කන්සික චතුරාර්ය සත්‍යයයි. මින් පසු ඒ අවස්ථාවට උචිත වූ ධර්ම පර්යාය විස්තර කරනු ලැබේ. මෙහිදී හැම විටම  දානය, සීලය  ගැන මුලින් පිළිවෙල කතාවේ පහදා දෙන්නේ දිනපතා නොපැමිණෙන්නන්ට ධර්මයේ හරය දක්මට පෙර එහි ස්වභාවයත් එහි මාර්ගයත් වටහා දෙනු පිණිසයි.
තථාගතයන් වහන්සේගේ දේශනාව අද ඔබට ඇසෙන්නක් මෙන් ධර්ම දේශනාවක් නොවේ එය ඉතා දීර්ඝය. උන් වහන්සේගේ උදාසන දේශනාව දීඝ නිකාය හා සම්යුත්ත නිකාය තරම් දිගය. සවස දේශනාව මජ්ජිම හා අන්ගුත්තර නිකාය තරම් දිගය. මෙතරම් දිග දේශනා කළද එහි සිටින දෙවියන්ටත් මිනිසුන්ටත් කාලය ඉක්ම නොයයි. ඒ අසිරිමත් බුද්ධානුභාවය නිසාමය. උන්වහන්සේ එහි සිටින දහස් ගනනක් මිනිසුන්ගේත් අස්න්ඛ්‍ය ගණනක් දෙව් බඹුන්ගේත් සිත් එකවර සොලොස්  ආකාරයකින් බලමින් දේශනාව සිදු කරයි. එසේම ඒ මොහොතේම ප්‍රකෝටි ගණනක් ශ්‍රාවකයන්ගේ සිත් වල ශ්‍රද්ධා , සති , සමාධි ,විරිය, ප්‍රඥා යන පන්ච ඉන්ද්‍රියන් වැඩෙන ආකාරයද බලා දැනගනී. උන් වහන්සේ ධර්ම දේශනා කරන විට නිරන්තරයෙන් තමාගේ ශ්‍රාවකයන් අසාධාරණ වූ ඤාණ දෙකකින් පරිලෝකනය කරන සේක. ඒවා නම්

1. ඉන්ද්‍රිය පරෝපර්‍යත්ති ඤාණය; ඉහත පන්චේන්ද්‍රියන්ගේ වැඩීම දැන ගන්නා නුවණ

2. ආසයානුසය ඤාණය : ශ්‍රාවකයන්ගේ සිත්වල සැගවුණු ආශ්‍රව හදුනා ගන්නා නුවන

ශ්‍රද්ධාව වඩවනු පිණිස තථාගතයන් වහන්සේගේ එක් දේශනාවක් සිදු කරන ආකාරය විස්තර කරමි.

සූත්‍ර පිටකයේ අප දකින්නේ සන්ක්ෂිප්ත වාර්තා ( ආනන්ද හිමියන්ගේ ) මිස බුදු හිමියන්ගේ සම්පූර්ණ දේශනාව නොවේ. එය ඉතා දීර්ඝය. ඒ දීර්ඝ දේශනා පොත්වල ලීවේ නම් බඹ ලොවටත් උසට පොත් ගොඩගසන්නට සිදුවේ. බුදු හිමියන් එක දිගට දේශනාව කරගෙන යන්නේ නැත . එය ඉතා පිලිවෙලකට සිදු කරයි


1.මුලින්ම දේශනාව කරන්නට කලබල නොවේ. ධර්මාවවාදයක් සිදු කරයි. මා මෙතනට එන්නට පෙර ඔබ කුමක් ගැන සාකච්ඡා කළේ දැයි විමසයි. ඒ අනුව ධර්මාවවාදය සිදු කරයි

මෙතන තෙපි මහණෙනි - අප ඊමට පළමුවෙණි

කුම් නම් පුවතකිනි - යුතුව උනි දැයි විචාලේ මුණි

2. ඉන් පසු තමන් වහන්සේගේ ඉහත ඤාණද්වයෙන් එතැන සිටින සිව්වණක් පිරිසත්. ඉදිකටුවක් ගසන් තරම් තැන් වල කෝටි ගණනින් රැස් වූ දෙවි වරුත් පරිලෝකනය කර ඔවුන් උදෙසා දේශනා කල යුතු ධර්ම පර්යාය තීරණය කරන සේක.


3. පිළිවෙල කතාව හෙවත් ධර්මයේ මූලික හරය. ලෝක ස්වභාවය දේශනා කරන සේක.



  •    දානය, එහි ප්‍රභේද, දක්ෂිණා විභන්ග සතර, දානයේ විපාක
  •    ශීලය, එහි ප්‍රභේද, උසස් ශීලය, ශීලයේ විපාක. ශීල හානියේ ආදිනව.
  •    දිව්‍ය ලෝක , ඒවාගේ ස්වභාවය, නිරය, ඒවාගේ ඉපදීමට හේතු වන කරුණු. එහි ඇති සැප දුක
  •    කාමයේ නිස්සාර බව. අනිත්‍ය .දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණය
  •    කාමයේ පිළිකුල් බව
  •    කාමයේ ආදීනව
  •    කාමයෙන් වෙන්වීමේ අනුසස් , බ්‍රහ්මචර්යාවේ යෙදෙන ලෙස කරන අවවාදය. එහි ආනිසන්ස. ශ්‍රමණ බවේ අනුසස්.  
  •    සාමුක්කන්සික සන්ක්ෂිප්ත චතුරාර්ය සත්‍යය.


4.මින් පසු සත්වයන්ගේ සිත් එකවර සොළොස් අයුරකින් බලමින් සූත්‍ර දේශනාව අරඹයි මෙය අන්ග නවයකින් සිදුවේ. නවාන්ග ශාස්තෘ ශාසනය නම් මේව එකිනෙක වෙන් කර මතක තබා ගත් ආකාරයයි.

සූත්‍රය




 ත්‍රිපිටකයේ සදහන් වන 18786 වන විසි එක් දහසක සූත්‍ර දේශනා වලින් එකක් එහි ඇති අයුරින් දේශනා කිරීමයි.

ගෙය්‍ය


පළමුව ප්‍රකාශ කළ සූත්‍රයේ හරය වටහා ගනු පහසු වන පරිදි ගයකින් සන්ක්ෂිප්තව දේශනා කරයි. එවිට අසන ශ්‍රාවකයන්ට අවසානය දක්වා එය අමතක නොවේ.

වෙය්‍යාකරණ



සූත්‍රයේ ප්‍රකාශවූ වචනයක් පාසා භාෂාත්මකවත් ( අධිවචන පර්යාය ) ධර්මානුකූලවත් ව්‍යාකරණය කිරීමයි. එක් එක් කොටස ගෙන නිදර්ශන දක්වමින් ශ්‍රාවකයන්ගේ මනසට අරමුණු වී පැහැදිළි වන තුරු ව්‍යාකරණය සිදු කරයි. මෙවිටද සියල්ලන්ගේ සිත් සොළොස් අයුරකින් නිරීක්ෂණය කරන සේක.

ගාථා


තථාගතයන් වහන්සේගේ නාදය කරවීක පක්ෂි නාදයක් වැනිය.එම පක්ෂියා හඩක් නගන විට වනයේ සියලු සතුන් නිහඩ වී එය රස විදී. වරක් දම්සෝ නිරිදුන්ට මේ කරවීක පක්ෂි නාදය ඇසීමට අවශ්‍ය විය. ඉතා දුර්ලභ වූ එම පක්ෂියා සොයාගත්තත් ඌ නාද නොකළේය. ඔවුන් නාද කරන්නේ තම වර්ගයා සමීපයේ පමණි. මෙනිසා කැඩපත් වලින් වටකරන ලදුව පක්ෂියා නාද කළේය. මෙය අසා තථාගතයන් වහන්සේගේ හඩ මෙසේයැයි ප්‍රසාදයට පත් බොහෝ දෙනා සෝවාන් වූහ.
උන් වහන්සේ එක දිගට දේශනාව සිදු නොකරයි. ධර්මාවවාදය හා දේශනාව මිශ්‍ර වූ ගාථාව සිය ශ්‍රී මුඛයෙන් නික්මවන සේක. එවිට ශ්‍රාවකයන්ගේ සිත් වල ථෙන මිද්ධය හිරු දුටු අදුර සේ නික්ම ගොස් දේශනාවේම ඇලේ.

ඉතිවුත්තක



දේශනාව  අතරතුර උන්වහන්සේ ඉතා වැදගත් කාරණා අන්ක ලෙස උච්ඡාරනය කරමින් ශ්‍රාවකයන්ගේ සිත් වල විචිකිච්ඡාව සිදියි. මෙය ආදේශන ප්‍රාතිහාර්යයයි.යමෙක් කිසියම් දෙයක් ගැන සිතින් සැක උපදවන විට උන්වහන්සේ එය ගැන දේශනාවේම පවසමින් සැක බිදී. මෙවිට භාග්‍යවතුන් වහන්සේ අපගේ සිත් දකින සේකැයි. ශ්‍රාවකයෝ ප්‍රසාදයට පත්වන අතර දේශනාවට තවත් ඇලී යයි

" මහණෙනි, සිතේ උපදින ද්වේෂය පිණිස එකම කාරණය නම් පටිඝ සන්ඥාවයි. රාගය පිණිස එකම කාරණය නම් සුභ සන්ඥාවයි"

මේ ඉතිවුත්තක දේශනාවකි . බුදුරජානන් වහන්සේ යමකට එක් ප්‍රත්‍යකැයි පවසයිද ඇත්තේ එකක්ම පමණි තවත් දේවල් ඇතැයි කිසිදු දෙවියෙකුට බඹෙකුට තර්ක කළ නොහැක.

අද්භූත ධර්ම.


මේ අවස්ථාවේ උන්වහන්සේ විවිධ අසාමාන්ය  වූ මිනිසුන්ගේ අවබෝදයෙන් දුරස් වූ කාරනා කතා වස්තු පෙන්වා දෙයි. මෙය දේශනාවට අදාල ලෙස තෝරාගනී. එක් එක් පුද්ගලයන් සතු අද්භූත දර්ම පවසන අතර. මේ අවස්ථාවේ විවිධ සෘදි ප්‍රාතිහාර්ය දක්වයි. වේඨ දීප සූත්‍රය දේශනා කරන අතර ආකාශයේ රන් චෛත්‍යයක් මවා පෙන්වීය. එසේම කාශ්යප බුදු හිමියන්ගේ රන් දාගැබ මහ පොළොවින් මතුකර පෙන් වීය. තවද සෑම සූත්‍ර දේශනාවකදීම සාමූහිකවත් පෞද්ගලිකවත් එකිනෙකාට විවිධ සෘද්ධිමය දර්ශන මවා පෙන්වයි. ඛේමා බිසවගේ සිද්ධිය උදාහරණයකි.
" සපපාටිහාරියෝ අයන් ධම්මන් දේසිසසාමි" මම ප්‍රාතිහාර්ය සහිතවම ධර්මය දේශනා කරමි.
මෙවිට ස්වාමින් වහන්සේ මා උදෙසාම ධර්මය දේශනා කරන්නේ යැයි ශ්‍රාවකයන් තුල ශ්‍රද්ධාව හට ගනී. තවද උන්වහන්සේ දේශනා කරන විට ලග සිටින අයටත් දුර අයටත් එකම ශබ්දයෙන් ශ්‍රවණය වේ. සතර දිශාවේම සිටින අයට උන්වහන්සේගේ මුව මඩල් බුද්ධානුභාවයෙන් දැකිය හැක්කේය

ජාතක


තථාගතයන් වහන්සේ අතීතයේ සිදුවූ සිද්දි කතා වස්තු ලෙස තම දේශනාවේදි ඉදිරිපත් කරන සේක. ඉන් පසු පූර්වාපර සන්ධි ගලපමින් ලෝක ස්වභාවය පෙන්වා දෙන සේක

වේදල්ල


මෙය දේශනාවේ හරවත්ම කොටසයි. බණක් මෙන් එක දිගට දේශනාව නොකරන උන්වහන්සේ ශ්‍රාවකයන්ගෙන් ප්‍රශ්න විමසයි . ශ්‍රාවකයන්ගේ ප්‍රශ්න වලට පිළිතුරු දෙයි. වේදල්ල යනු ධර්ම සාකච්ඡාවයි. මෙවිට රහතන් වහන්සේලාද පෘථග්ජනයන්ද විවිධ ප්‍රශ්න නගයි එවිට ඒවා ව්‍යාකරණය කරමින් භාග්‍යවතුන්වහන්සේ පිළිතුරුදෙයි. ඒ අතරම. සැරියුත් හිමි ඇතුළු මහරහතුන්ට බුදු හිමියන්ද ප්‍රශ්න යොමු කරයි. උන් වහන්සේලාද ඒවාට පිළිතුරුදෙයි. මේ අවස්ථාවේ ඉතා ආශ්චර්යවත් දෙයක් සිදුවේ.   එනම් ශ්‍රාවකයන් ධර්මාවබෝධ කිරීමයි. බණ අසා සිටින ඉරියව්වේම සිටින පෘථග්ජනයන් සෝවාන් වේ. අතමෙක් සකදා ගාමි වේ. තවත් අය අනාගාමි වේ උග්ඝටිත්ඤ පුද්ගලයෝ අර්හත්වයට පත්ව දුක් කෙලවර කරති.

උදාන


උදාන යනු බුදු හිමියන් හා මහ රහතුන් වරින් වර තම සුවය අරබයා ප්‍රකාශ කරන ප්‍රීති වාක්‍යයන්ය. ධර්ම දේශනාවක් අවසානයේදි බුදුරජාණන් වහන්සේ තම කාර්යසාධනය පිළිබද ඉදිරිපත් කරන ප්‍රීති වාර්තාව උදානයකි. මෙය විවිධාකාරයෙන් සිදු කරයි. මෙහි මේ දේශනාව අසා මෙපමණක් සෝවාන් විය . මෙපමනක් සකදාගාමි විය, මෙපමනක් අනාගාමි විය , මෙපමනක් රහත් විය යැයි තමන් වහන්සේ වැනි බුදු වරයෙකුටම ආවේණික වූ මහා ප්‍රඥාවෙන් උන් වහන්සේ ස්වකීය සාර්ථකත්වය ලොවට හෙළි කරමින් උදාන පහළ කරයි. රහතන් වහන්සේලාද ධර්ම දේශනාව ගැන උදාන පහල කරයි.

 " ස්වාමිනි මේ ධර්ම දේශනා පර්යාය නම් කුමක්ද? මෙය මුලින් බැලුවද අති ප්‍රණීතය , මැදින් බැලුවද අති ප්‍රණීතය , අගින් ගත්තද අති ප්‍රණීතය "
" එසේ නම් ආනන්දය නුඹ මෙය මධුපිණ්ඩික පර්යායයැයි දරව "


මෙය දීර්ඝ ධර්ම දේශනාවේ නිෂ්ටාවයි. දම් සභාවට  ආගන්තුකයන්සේ පෘථග්ජනව පැමිණි දෙවියන්ද මිනිසුන්ද ආර්ය ශ්‍රාවකයන් සේ විමුක්ති රස ලබා ඉන් පිටත්ව යන්නෝය.

2 comments:

  1. obata aneka pin dharma danayata
    Thusitha Rajapakse

    ReplyDelete
  2. Dasabaladari Sarwagnayan wahansege dharma deshana sidu karana ayuru pahadha shun obstacles anekawarayak pin.obe FB mithuru-Abhishek.

    ReplyDelete