සෘද්ධි යන සකු වදන අර්ථ බාහුල්‍යයෙන් යුත් වදනකි. එහි මානසික බලය යන අරුත ඇත. ධනවත් යන අරුත ඇත , ඝණ වූ යන අරුත ඇත.මෙහි මාගධි රූපය වන ඉද්ධි යන්නේ මේ තේරුම් වලට අමතරව දක්ෂ යන වචනයද ගැබ්වේ.බෞද්ධ විග්‍රහය අනුව සෘද්ධි යනු කවරක්දැයි විමසුව හොත් ඊට දිය හැකි පිළිතුර නම් අපහසු වූ තත්වයකට ළගා වීමයි . න්‍යායාත්මකව සතර සෘද්ධි පාදයන් වැඩීමෙන් සාක්ෂාත් කළයුතු යමක් වේද ඒ සෘද්ධි නම් වේ.
සෘද්ධි හා ප්‍රාතිහාර්ය අතර බොහෝ සම්බන්ධතා ඇත.ප්‍රාතිහාර්ය යනු සාමාන්‍යයෙන් නොකළ හැකි වූ දෙයක් කිරීමට ඇති හැකියාවයි .විශේෂ දක්ෂතාවයි. සෘද්ධි මගින්ද ප්‍රාතිහාර්යයන් පෙන්විය හැකිය. නමුත් ඒ සදහා සෘද්ධි අත්‍යවශ්‍ය නොවේ.
බුදු දහමට අනුව ප්‍රාතිහාර්ය වර්ග තුනකි.
1. සෘද්ධි ප්‍රාතිහාර්ය
2.ආදේශන ප්‍රාතිහාර්ය
3.අනුශාසනා ප්‍රතිහාර්ය.
මෙයින් සෘද්දි ප්‍රාතිහාර්ය සදහා සෘද්ධි අවශ්‍ය වේ. මේ සදහා සෘද්ධි පාද වැඩිය යුතුය.ඉද්ධිපාද සතරෙකි.
1.ඡන්ද : බලවත් කැමැත්ත.
2.විරිය : බලවත් උත්සාහය
3.චිත්ත : බලවත් අධිෂ්ඨානය
4.විමන්ස :බලවත් ප්‍රඥාව
ඉහත ඉද්ධිපාද නිර්වාණ සන්වර්තනික වූ ධර්මයේ දක්වා ඇත්තේ නිවන් දැකීම පිණිසය. නමුත් මෙලොව යමෙක් සෘද්ධි ප්‍රාතිහාර්ය දක්වයිද ඒ බලවත් වූ සෘදිපාදයන් මගින්මය. වෙනස ඔවුන් එය නිවන් මගට යොමු කිරීමට අදක්ෂ වීමයි. ඉදු පෙළහර දක්වන්නා සත්‍යලෙසම ඉදු පෙළහර දක්වයි නම් හේ සතරවන ධ්‍යානය ලැබූවෙක් වේ .ප්‍රථම ,ද්විතීය හෝ තෘතීය ධ්‍යානයන්ගෙන් ඉදු පෙළහර දැක්විය නොහැක. ලෝකෝත්තර වූ සෝවාන් , සකෘදාගාමි , අනාගාමි හෝ අර්හත් ඵල සාක්ෂාත් කළ පමණින්ද කිසිදු ඉදු පෙළහරක් දැක්විය නොහැක. ඉදු පෙළහර දැක්වීමේ දක්ෂතාව සතරවන ධ්‍යානයේ වැඩුණා වූ ශක්‍යතාවටම අනුලෝම වේ. සිව්වන දැහැනේ දැහැන් කෙළියට ඇති ව්‍යක්ත භාවයම අයෙකුගේ ප්‍රාතිහාර්යයෙන් පිළිබිඹු වේ. මච්ඡිකාසණඩයේ මහක සාමණේර නම අප්‍රකට භික්ෂූන් අතරින් ඉදු පෙළහර දැක්වීමට විශේෂ හැකියාවක් තිබූ අයෙකි. ප්‍රාතිහාර්යයක සූක්ෂම බව උන් වහන්සේගේ ප්‍රාතිහාර්යයෙන් දැක්වේ. . මහක තෙරුන් දොරකින් පිටත උතුරු සලුවක් මත තැන්පත් කළ තණ මිටි රැසක් උතුරු සළුවට හානි නොවන සේ යතුරු සිදුරෙන් එවනු ලැබූ ගිණි කදකින් දවා හළු කළේය. ඇතැමුන්ට එලෙස දැවිය හැකි වුවත් , ගිණි කද යතුරු සිදුරෙන් එවීම උතුරු සළුව නොපිලිස්සීම යනාදිය ප්‍රගුණ කිරීමෙන් ලද යුතු දක්ෂතා වේ.
සතරවන ධ්‍යානය අභිඥා පාදක වේ . අභිඥා යනු උසස් වූ ඤාණයන්ය. අභිඥාවෙන් පාන්නා වූ ප්‍රාතිහාර්යය බලවත් වූ සෘද්ධි ප්‍රාතිහාර්යයකි. සම්පූර්ණයෙන් වැඩුණා වූ අභිඥා තථාගතයන්ට පමණක් ඇත. සියළු රහතුන්ට ආසවක්ඛය ඤාණැය ඇති නමුදු ඉන් පෙළැහර පෑමට නොහැක. අභිඥාලාභීන්ගේ අභිඥා පෙළහරු පානු පිණිස නොව සසර ක්ෂය කිරීම පිණිස වඩනු ලබයි.අභිඥා පිළිබදව මින් විස්තර කරනු නොලැබේ මෙය හුදෙක් සෘධි ප්‍රාතිහාර්ය පිළිබදව පමණක් අවධානය යොමුකරයි. සෘද්ධි ප්‍රාතිහාර්ය වර්ග දහයක් වේ. මේවායින් උතුරු මිනිස්දමින් කරන ප්‍රාතිහාර්ය වෙන්කොට දක්වමි.
අභිඥා පාදක චතුර්ථධ්‍යානයෙන්
1. අධිට්ඨානිද්ධි -
සිව්වන දැහැනට වේගයෙන් සමවැදීමටත් වේගයෙන් ඇහැරීමටත් ප්‍රගුණ කල යෝගියා සතර සෘධ්ධිපදයෙන් එක්තරා ඉද්ධිපාදයක් අරමුණු කළ කල්හි මෙය ප්‍රකට වේ. ඇතමෙක් නොපෙනී යනු කමති වේද ඡන්දය හේතුවෙන් අන් අයට නොපෙනේ . වායෝ කසිණාදි ධ්‍යාන ලැබූ යෝගියා තම ශරීරය වීර්යයෙන් යුතුව නොපෙනෙන්නා වූ වායෝ ධාතුව ප්‍රකට කරවා එය පවත්වා ගැනීමෙන් නොපෙනී යයි. තවෙකෙක් නොපෙනී යේවායි අධිෂ්ටාන කෙරේද ඒ හා සමග නොපෙනී යයි. ප්‍රාර්ථනා ඉෂ්ට කිරීමේ ආනුභාවයක් සතරවන ධ්‍යානයේ ඇත්තේය.
ඒ අනුව අහසින් යාම , දිය මත ඇවිදීම , පර්වත විනිවිද යාම, සිරුරින් ගිනි ජලය වාතය පිටකිරීම ආදිය මේ ආකාර සෘද්ධීන්ය. අතීතයේ බලවත් සෘෂිවරු ජනපද ආරණ්‍ය භෂ්ම කිරීම සාගර ගන්ගා වියළා දැමීම ඉර සද තාරකා කරා ළගාවීම යනාදියද, මුගලන් මහරහතන් වහන්සේ ශක්‍ර භවන කම්පා කිරීම ආදියද තථාගතයන් වහන්සේ උරුවේල් දනව්වේ පෑ පෙළහර හා යමා මහ පෙළහරද මේ වර්ගයේ වේ.
2. විකුබ්බනිද්ධි -
තම ශරීරය වෙනත් ආකාරයකින් දැක්වීම. මෙය අදිෂ්ඨාන සෘද්ධියෙන් වෙනස් වුවද සතර ඉඩ්දිපාදයන්ම මූලික වේ. සෘද්ධිමතුන්ට තම ශරීරය නාගයෙකු, දෙවියෙකු, බ්‍රහ්මයෙකු ලෙස වුව දැක්විය හැක්කේය, තම ශරීරය මහත් කිරීමටද කුඩා කිරීමටද හැක්කේය. තථාගතයන් තව්තිසාවට වැඩි කළ පණස් යොදුන් පඩුපුල් අස්නේ කෙසේ අසුන් ගනීදැයි සක් දෙවිදු බිය විය. නමුත් තථාගතයන්ගේ සිවුරු කොනින් අස්න වැසී ගියේය. නන්දෝපනන්ද දමන්යේදී මුගලන් මහ තෙරුන් ඉතා කුඩා වූ ශරීරයකට පත්විය. බුදුරජාණන් වහන්සේට අබපියල්ලක් තුළද සක්මන් කළ හැකිය.
තම ශරීරය මෙන්ම වෙනත් දේද විශාල කිරීමේ කුඩා කිරීමේ හා පරිවර්තනය කිරීමේ හැකියාවද සෘද්ධි ප්‍රාතිහාර්යයකි. ගන්ධමාදන පව් වැසි පසේ බුදුන් බොහෝ අවස්ථාවල තමා ලද ස්වල්ප වූ දානය පන්සියයක් සමග බෙදාගෙන වළදයි. මහා කාශ්‍යප තෙරුන් වරක් පණහක් පමණ වූ දායකයන් තම්මට ගෙනා බොහෝ වූ දානය ඔවුන් සැම සනසවමින් තම එකම පාත්‍රයෙන් කුඩා කර පිළිගත්තේය. පිළින්දි වච්ඡ තෙරුන් වර්ක් දැරියකගේ හිස මත තණ දරණුවක් තැන්පත් කර එය රත්‍රන් බවට පත් කළේය. වරක් මාරයා තථාගතයන් වහන්සේට ලෝක රාජ්‍ය කරන ලෙස ඉල්ල සිටිමින්,
" ඔබ වහන්සේගේ අධිෂ්ඨානයෙන් හිමාලය වුවද රන් බවට නොහැරේද ඔබ වහන්සේගේ රාජ්‍යයේ දිළින්දන් නොමැත. සක්විති රාජ්‍යය කළ මැනවයි " ඉල්ලා සිටියේය.
3. මනෝමය ඉද්ධි :
මෙය සුවිශේෂී හැකියාවකි. මෙය අෂ්ට විද්‍යාවන්ගෙන්ද එකක් වන නිසා බුදු රජාණන් වහන්සේ මෙහි අපරිමිත ප්‍රාගුණ්‍යයක් දැක්වූ බව දැනේ. බුදුන් හැර මෙහි ඉහළම දස්කම් පෑවේ චුල්ල පන්ථක මහරහතන් වහන්සේය. තමා සේම වූ වෙනත් ශරීර මවා පෑමේ හැකියාව මෙන්ම සියළු මැවීම් කිරීමේ හැකියාව මේ සෘද්ධියයි. තම මනෝ කාය පිටතට ගැනීමේ හැකියාවද මීට අයත් වේ. වරක් බුදු රදුන් ස්වර්ණ කාර භික්ෂුවට රිය සකක් පමණ රන් පියුමක් මවා එය ගෙන භාවනා කිරීමට කමටහන් දුන්හ. ඛේමා බිසවට පෙන්වූ ප්‍රාතිහාර්යයද මෙසේය. කුටිකාර තෙරුන් මහ වනයේ බොහෝ භික්ෂූන්ට සැප පහසුව සිටිය හැකි කුටි , යහන් පොකුණු හා ආහාර සහිත මහා ආරාමයක් මැවීය . එය මැවීමක් බව කිසිවෙකුත් නොදත්හ.
මේ ප්‍රාතිහාර්ය විෂයෙහි මුගලන් තෙරුන්ද ප්‍රතිභාවක් දක්වූ බව පහත ප්‍රකාශයෙන් පෙනේ.
"ස්වාමිනී . මම තවත් පෘථිවියක් මවා මෙහි සිටින සියළු සත්වයන් ඒ පෘථිවියෙහි පිහිටවා මේ මහ පොළොව කණපිට ගසා යටගියා වූ රස පෘථිවිය මතු කරමි. ඉන් පසු සියලු සතුන් යළි මෙහි පිහිටුවමි. "
මෙවන් ප්‍රාතිහාර්යයක් දකින සත්වයෝ බියටම මියයන හෙයින් මෙය පෑමට බුදුරදුන් අවසර නොදුන්හ.
4. ඤාණ විප්ඵාරිතද්ධි.:
ඤාණයන් පළ කිරීමෙන් සිදුකරන ප්‍රාතිහාර්යයන්ය. සාමාන්‍ය ජනයාට කිසියම් දෙයක අග මුල සොයා ගැනීම අපහසුය . නමුත් නුවණ වැඩි අයට එය විෂය වේ. අත පය බැද ගගකට දැමූ කල්හි සාමාන්‍ය මිනිසෙකු මිය යන නමුත් නුවණැත්තාට එයින්ද ගැළවී යාමට හැකිය . මෙය බහුතර ජනයාට ප්‍රාතිහාර්යයකි. මහෝසධ පඩිතුමා කිසිවෙකුට විසදිය නොහැකි අග මුළ නොපෙනෙණ ගැටළු විසදීම නුවණ මෙහෙයවීමෙන් කරන ප්‍රාතිහාර්ය වේ.
5. සමාධි විප්ඵාරිතද්ධි :
සතරවන දැහණෙන් පරිබාහිර පහල සමාදි නිසාද නොදැනීම පෙළහර සිදුවේ. වරක් තේජෝ කසිනය වඩන හිමි නමක් තමාට හිරිහැර වූ ශ්බ්දයක් කෙරෙහි සමාධියේ සිටියදී ගැටුණි . එහි ප්‍රථිඵලය ලෙස ලැව්ගින්නක් හටගති.නිතර මෛත්‍රී වඩන විශාඛ ස්ථවිරයන් වාසය කළ වනයේ එකිනෙකාට සතුරු යක්ෂයන් ප්‍රිය මිතුරන් වූහ. කොටියන් හා මුවන් මිතුරු වූහ , නයින් සහ මුගටින් ද මිතුරු වූහ.මෛත්‍රී භාවනාවෙන් චතුර්ථධ්‍යානය ලැබිය නොහැකිය
සමාධියට අමතරව තවත් දෙයින්ද මෙවැනි දේ විය හැකිය. අතීතයේ අනුරාධපුරයේ පින්කමකට ගිය උපාසක පිරිසක් චන්ඩ වූ ගගකින් එතෙර වීමට නොහැකිව සිටියදී ගගින් එතෙර පූජාව ගැන ඇතිවූ බුද්ධාලම්බන ප්‍රීතියෙන් පිනාගිය එක් උපාසකයෙක් ගොඩබිම යන්නාක් මෙන් ගගමත ඇවිද ගියේය. ඛණ්ටක චේතියේ පූජවකට ගිය පිරිසක් ගැබිණි කතක් හිණි පාමුල සිටුවා පඩි පෙළ නැග යන විට එම කත චෛත්‍යයට මල් පුදමින් සිටියාය.මේ සිද්ධිය අධ්‍යයනය වටී.
ඉහත කාන්තාව හා උපාසකයා ගේ සිත් වල අධික ශ්‍රද්ධාවක් හටගති. එම ශ්‍රද්ධාව ප්‍රීතියට ප්‍රත්‍ය වේ. ප්‍රීතිය සන්සිදීමට ප්‍රත්‍ය වේ සන්සිදීම සැපයටද සැපය සමාධියටද ප්‍රත්‍ය වේ. ඒ නිසා ඉහත සිදුවීම් ද සමාධි විප්ඵරිතද්ධි වේ.
උතුරු වඩුන්නාවේ ගොවියෙක් සිය හරකුන් සෙවීමට වනයට යද්දී හමුවූ භික්ෂුව ඉදිරියේ පන්සිල් සමාදන් විය. මහ වනයේදී ඔහු පිඹුරෙකු වෙළාගති . ඔහුගේ අතේ මන්නයක් විය ඉන් ගසා පිඹුරා මැරීමට සිත් වූ නමුත් පන්සිල් බිදීමට අකමැත්තෙන් එසේ නොකළේය . තෙවැනි වරටද එම සිතුවිල්ල එද්දී දිවිහිමියෙන් පන්සිල් රකිමියි සිතා මන්නය ඈතට විසි කළේය. මෙවිට පිඹුරාට දැණුනේ තමා ගිණිගෙන දැවෙන ගසක් වෙළාගෙන සිටින සෙයකි. පිඹුරා වහා පළා ගියේය. මෙය සීල බලය දක්වන කතාවක් වුවත් සමාධි විප්ඵාරිත සෘධ්ධියකි. තමා රකින ශීලය අරක්ශා කර්මියි සිතන විට ප්‍රීතිය හටගනී. ස්තිර වූ ශීලය සමාධියට මහෝපකාරි වන්නකි. ගොවියා නොදැනම පළ කළේ සෘද්ධි ප්‍රාතිහාර්යයකි.
දාගැබ් වලින් රැස් විහිදීමද මේ අයුරින් දත යුතුය. ධාතු යනු සත්වයන් නොවේ සතර මහා භූතයන් පමණි. ඒවාට ප්‍රාතිහාර්ය කිරීමේ උවමනවක් හෝ හැකියාවක් නැත. නමුත් ශ්‍රද්ධාවෙන් පිනායන උපාසක් පිරිසක් අදික ශ්‍රද්ධාවෙන් යුතුව ධාතු නමදින විට . මේ මාගේ ස්වාමි බුදු රජාණන් වහන්සේගේ ධාතුය , උන් වහන්සේගේ ධාතු චෛත්‍යයය , උන් වහන්සේ පිට දුන් බෝධිය යැයි සිතමින් බුදුන් වහන්සේගේ අශ්චර්යත්වය හා සවණක් බුදුරැස් මෙනෙහි කරන විට ඡන්ද චිත්තාදි සෘද්ධිපාද ඉස්මතු වී ශ්‍රද්ධා මූලික සමාදියේ බලයෙන් ඇත්තටම රැස් විහිදේ. එතැන එවැනි උපාසකයන් බොහෝ වේ නම් රැස් විහිදීමට ඉහළ සම්භාවිතාවක් ඇත.එවැනි දෙවියන්ද වේ නම් ඇත්තටම රැස් විහිදේ.එම රැස් විහිදීම පටිගත කිරීමට මාධ්‍ය පැමිණි විට ඔවුන්ට ඇති වන්නේ ශ්‍රද්ධාවක් නොව ලෝභයකි. එවිට රැස් තබා රැස් විහිදුණු සළකුණක්වත් නොපෙණේ.
6. අරියිද්ධි :
ආර්යයන් වහන්සේලාගෙන් පළ වෙන් සෘද්ධීන් මේවාය. උන් වහන්සේලා සතරවන ධ්‍යානයෙන් තොරව සිටින විටද මේවා පළ වේ . පෘථග්ජනයන්ට ලෝභය ඇතිවන දේ ගැන උන් වහන්සේලා මදහත් වේ. රහතන් වහන්සේ නමක් අබියස කොතරම් සුන්දර ස්ත්‍රීන් කාය සන්සර්ගය අපේක්ශාවෙන් කුමන ආකාරයකින් සිටියද උන් වහන්සේට ඒ ගැන චින්තා මාත්‍රයක් වත් පහල නොවේ. අනාගාමි උතුමෙකුට කොතරම් නින්දා අපහාස කළද ද්වේෂ මාත්‍රයක්වත් ඇති නොවේ. මෙවැනි අද්භූත දෑ ආර්ය සෘද්ධි නම් වේ . නිරෝධ සමාපත්තියේ සිටින රහතන් වහන්සේගේ ශරීරයට කිසිදු ආකාරයකින් හානියක් සිදු නොවේ.
7:කම්ම විපාකජ ඉද්ධි :
පක්ෂීන්ට පියෑඹිය හැක. මසුන්ට පිහිනිය හැක . නමුත් එය මිනිසාට නොහැක. මිනිසා සතු ඇතැම් හැකියා ඔවුන්ට නැත. ඒ අයුරින් විවිධ හැකියා ඇති වන්නේ කර්මානුරූපවය. පක්ෂීන්ගේ කායින්ද්‍රිය පියාපත් බවට පත් වේ මිනිසාගේ ඒවා අත් වේ.අත් වලින් වාතය ඝටා තල්ලු කළ නොහැක නමුත් පියාපත් වලින් හැක. පක්ෂි ශරීරය සැහැල්ලුය. ( පක්ශීන්ගේ ශරීරයෙ වාත කෝශ පිහිටයි, අස්ථි සවිවරය, ඇතැම් අවයව ඌණ වේ ) මේව නොදත් අයට පක්ෂියා පළ කරන්නේද ප්‍රාතිහාර්යයකි. දෙවියන්ද එසේය . දෙවියන් අතරද විවිධ වර්ග සිටී . කර්මානුරූපව ඔවුන්ට මිනිසුන්ට නොහැකි වූ බොහෝ දේ කළ හැකිය. සිත් කියවීම , අහසින් යාම අදිය කළ හැකි බොහෝ අමනුෂ්‍යයො වෙති.
8.පුඤ්ඤිද්ධි :
පුණ්‍ය සෘද්ධීන් යනු පින් බලයෙන් කළ හැකි ප්‍රාතිහාර්ය වේ. සක්විති රජුට වෙනත් මිනිසුන්ට කළ නොහැකි ප්‍රාතිහාර්ය පෑ හැකිය. සක්දෙව් රජුටද දෙවියන්ට නොහැකි ප්‍රාතිහාර්ය පෑව හැකිය. සීවලී මහරහතන් වහන්සේගේ පිනේ ආනුභාවයෙන් උන් වහන්සේ සමග පිඩුසිගා යන අන් අයටද නොයෙක් සූප ව්‍යන්ජනයන් ලැබේ. බෝධිසත්වයන්ගේ දානාදි පාරමිතා බලයෙන් භික්ෂූන් වහන්සේලාට නොයෙකුත් ප්‍රණීත ආහාර වර්ග අදත් ලැබේ.
කුන්ත රන්කරුගේ කතාව මීට නිදසුනකි. සද්ධාතිස්ස රජු කුන්ත නම් රන් කරුට රන් තලියක් සෑදීමට රන් දුන්නේය. ඔහු ඒ රන් වියදම් කර මද්‍ය පානය කළේය. රජු රන්තැටිය ගෙන ඒමට රජ පුරුෂයන් එවූ කල්හි බිය වූ රන්කරු රන් සෙවීමට පලා ගියේය. අතරමගදී ඔහුට නිරෝධ සමාපත්තියෙන් එදිනම පිබිදුණු රහතන් වහන්සේ නමක් හමුවිය. උන් වහන්සේ කෙරෙහි පැහැදුණු කුන්ත තම බත් පත පූජා කළේය. හිමි නම ඩක් වළදා ඉතිරිය ඔහුට නැවත දෙමින් නෙළුම් කොළයක් ගෙන බත් පිළිගන්නයි පැවසීය. ඔහු නෙළුම් කොළය කඩන්නාහාම එය මාහැගි රන් තලියක් විය. ඒ රන් තලිය දී බේරීමට සිතාගෙන රජුට රන් තලිය දුන් කල්හි මහරජ ජාම්බෝනද රනින් කළ ඒ තලිය තමා දුන් රන් නොවන බව දැන සත්‍ය විමසා රන් කරුට බොහෝ ත්‍යාග පිරිනැමීය.මේ අයුරින් දේවතානුභාවයකින් හෝ තොරව නෙලුපත රන් තලියක් වූයේ පුණ්‍ය සෘද්ධියෙනි .මෙහිදී ත්‍රිවිධ සම්පත්තියට අමතරව ගුණාතිරේක සම්පත්තියද පූරනය වූ දානයක් දීමෙන් එදිනම විපාක දීමේ බලවත් ආනුභාවයක් ඇති පිනක් ඔහුට රැස්විය.
9: විජ්ජාමය ඉද්ධි :
විද්‍යාවෙන් හා දැනුම උපයෝගි කරගෙන කරන ප්‍රාතිහාර්යයන් වේ. නූතන විද්‍යාවෙන් ඉතා කුඩා දේ ලොකු කර බැලිය හැක. දුර ඇතිදේ ළන් කර බැලිය හැක. ජනපද සුණු විසුණු කළ හැක.ග්‍රහයන් කරා යා හැකිය. භයානක රෝග සුව කළ හැක. මේ කිසිවක් ධ්‍යානාදි මාර්ග වලින් ලත් බලයන් නොව දැනුමේ බලයයි. අතීතයේද නොයෙක් දැනුම් වලින් බොහෝ ප්‍රාතිහාර්යයන් කළ හැකි අය විසූහ.
10: සම්මප්පයොග පච්චයා ඉද්ධි :
යහපත් ප්‍රයෝග භාවිතයෙන් ප්‍රාතිහාර්ය පෑව හැකිය. අර්හත්වය සාක්ෂාත් කිරීම මෙවැනි ප්‍රාතිහාර්යයකි.
මිනිසුන්ට නොදැනෙන ප්‍රයෝග වලින්ද ප්‍රාතිහාර්ය පෑව හැකිය , ඉන්ද්‍රජාල ඇස්බන්දුම් ඒවාය.
සතරවන ධ්‍යානයේදි සමාහිත වූ සිත ප්‍රාතිහාර්ය පෑමේ හැකියාවෙන් යුතුවේ. තමාට ඕනෑ අන්දමට පෙළහර පෑමට හැක්කේ සිව්වන දැහැනේදී පමණි. සතරවන ධ්‍යානය ලද පමණින්ද පෙළහර පෑ නොහැකිය. සිත වශීකෘත කිරීමෙන්ම සිතෙන් වැඩගත හැකිවේ. එලෙස වශීකෘත කිරීමේ අවස්ථා පහකි.
1. ආවර්ජන :
2.සමාපජ්ජන :
3: අධිෂ්ඨාන
4:ව්‍යස්ථාන
5.ප්‍රථ්‍යවේක්ෂා
අභිඥා බලයෙන් සිදුකරන සෘද්ධි ප්‍රාතිහාර්ය ඉතා විස්මය ජනකය . ඒවා සාමාන්‍ය මනුෂ්‍යයන්ට ගොදුරු නොවේ. සිත වශීකෘත වූ ඕනෑම යෝගියෙකුට ඒවා තම ශක්ති ප්‍රමාණයෙන් පෑව හැකිය. රූප උපදනා හේතු හතරකි
1.කර්මජ - කර්මානුරූප සෘද්ධි , පුණ්‍ය සෘද්ධි
2.චිත්තජ - සෘද්ධි ප්‍රාතිහාර්ය ( මනෝමය සෘද්ධි )
3.ආහාරජ- සෘද්ධි ප්‍රතිහාර්යයන් හා සම්බන්ධ නැත
4.උතුජ -සෘද්ධි ප්‍රතිහාර්යයන් හා සම්බන්ධ නැත
බුදුදහමින් පරිබාහිර වෙනත් ආගම් වලද ප්‍රාතිහාර්ය සන්කල්පය ඇත. ඒවා බොහෝ විට දුර්බුද්ධියෙන් පණවාගත් ඒවාය. ජේසුස් වහන්සේ පන්දහසකට කන්නට දීම, ජලය මත ඇවිදීම යනාදිය පෙළහර සේ සැළකිය හැකිය. එසේම මෝසෙස් මුහුද දෙබෑ කිරීමද පෙළහරකි.ඒබ්‍රහ්ම් විසින්ද විවිධ පෙළහර දක්වා ඇත. නමුත් සාන්තු වරුන්ගේ දේහාදිය කුණු නොවීම ආදිය මූඨය. මන්ද විනාශ නොවන දේවල් නැති හෙයිනි. කුණු නොවේ යැයි කියූ දේහ වලට අත් ව ඇති ඉරණමින් එය පැහැදිළි වේ. කවර සෘද්ධි ප්‍රාතිහාර්යයක් වුවද ඉහත අන්ග 10 න් එකකි.
ආදේශනා ප්‍රාතිහාර්ය යනු අන්‍යයන්ගේ සිත් කියවමින් කථා කිරීමය . සෘද්ධිඔ ප්‍රාතිහාර්ය හා ආදේශන ප්‍රාතිහාර්ය පෑම භික්ෂූන්ට තහනම් බව සියලු දෙනා දන්නා කරුණකි.යමෙකුගේ වචනය ශ්‍රවණය කිරීමෙන් සිතේ හටගත් රාගය ප්‍රහාණය වේද , ද්වේෂය ප්‍රහාණය වේද , මෝහය ප්‍රහාණය වේද ඒ ශ්‍රී සද්ධර්මයෙන් පමණි. ඒ ශ්‍රී සද්ධර්මය මැනවින් යමෙක් දේශනා කරයිද එය ප්‍රාතිහාර්යයක් ලෙස තථාගතයන් වහන්සේ දේශනා කර ඇත. ඒ ශ්‍රී සද්ධර්මය පමණි. ඉස්ලාම් ආගමේද කර්තෲන් විසින් කිසිදු ප්‍රාතිහාර්යයක් පළ කොට නැත. ඔවුන් ගේ මතය අනුවද මහා ප්‍රාතිහාර්යය නම් කුර් ආනයයි. නමුත් එයින් සිතේ හටගත් ලෝභ දෝස මෝහ ප්‍රහාණය නොවන හෙයින් සුගතප්පසත්ථ වූ ආදේශනා ප්‍රාතිහාර්යයක් සේ නොගැනිය හැකිය.
Superb....
ReplyDeleteVery useful.. Thank you for the effort.. Budu Saranayi!!!
ReplyDelete