Friday, October 28, 2016

මහා පට්ඨාන විශ්ලේශණය 01

 පට්ඨාන විමසුම



සම්මා සම්බුද්ධත්වයට පත්ව සියලු කෙලෙසුන් නසා සතුරන් දිනූ රජෙකු සේ බෝධි මූලයේ සකල ශෝභාවෙන් වැඩ සිටි අපගේ ස්වාමිදරුවාණන් වහන්සේ තමා විසින් අනන්ත වූ කාලයක් පාරමී පුරා අවසානයේදී සාක්ෂාත් කල උතුම් වූ නිර්වාණතික්‍රාන්ත නොයෙක් සමාපත්තීන්ට සමවදිමින් සකල ලෝකයේම තමාට උසස් අය තබා සම සමයන් පවා නොමැති හෙයින් ස්වකීය ගුරු තැන්හි තැබූ නිර්වාණාවබෝධයට ඒකායන මාර්ගය වූ ශ්‍රී සද්ධර්මයත් මෙනෙහි කරමින් තුන් සතියක් ගත කළ සේක. නමුත් අප ස්වාමිදරුවන්ගේ ශරීරයෙන් අසිරිමත් වූ ෂඩ් වර්ණ රශ්මි ජාලා නිකුත් වූයේ උන් වහන්සේ සිව් වන සතියේ අභිධර්ම පිටකය අනුලෝම ප්‍රතිලෝම ලෙස මෙනෙහි කරන විටයි. ඉනිදු සමස්ත විශ්වයේ පැවැත්මේ රහස වූ එකිනෙක හා සර්ව ප්‍රකාරයෙන් අන්තර් ක්‍රියා කරන හේතු ප්‍රත්‍යයන්ගේ ස්වභාවය පරිපූර්ණව අන්තර්ගත වන්නාවූ සන්සාරයේ ස්තිථිය ද භන්ගයද මනා හිරු මඩලකින් ලොව අදුර නසන්නාක් සේ පැහැදා දැක්වීමේ සමර්ථ වූ ඒ උතුම් වූ මහා පට්ඨානය  සර්වඥතා ඤාණයෙන් සම්මර්ෂණ පරාමර්ෂණ කරන කල්හි තථාගතයන්ගේ ශ්‍රී  ශරීරයේ හටගත් උද්වේග ප්‍රීතිය කරණ කොට එක් රෝම කූපයක් සා ප්‍රදේශයෙන් දස දහසක් සූර්ය මණ්ඩල පරයාලන ෂඩ් වර්ණ රශ්මි ජාලාවන් සමස්ත බුද්ධ ක්ෂේත්‍රය සිසාරා පැතිරී ගියේය.

ඇත් අස් රථ ආදී වූ යුද්ධ ශිල්පයෙහි දක්ෂ වූ රණ කෙලියෙහි ප්‍රවීණ වූ කාය බලයෙන් යුත් සෘද්ධිමත් මල්ලවයෙකුට සතර රියන් භූමියක පෙළහර දැක්විය නොහැකිය. නමුත් ප්‍රති මල්ලවයන් සහිත වූ නොයෙක් බාධක සහිත වූ සුවිශාල වූ යුද්ධ භූමියේදී ඔහුගේ පෙළහරින් රණ බිම දෙදරා යයි.ඒ අයුරින් ධර්මධාතුව ආශ්‍රය කොට සියලු දිශාවන්හි පැතිරුණා වූ මහත් වූ සර්වඥතා ඤාණයට කුඩා කුඩා ධර්ම කරුණු වල රිසි සේ හැසිරිය නොහැක. ලෝක ධර්මයේ හරය වූ පට්ඨානය ආවර්ජනා කරන කල්හිම උතුම් වූ සර්වඥතා ඤාණය සියලු දිශාවන්  බබුළුවමින් තථාගතයන්ට උද්වේග ප්‍රීතිය ජනනය කළේය. ඒ මහා පට්ඨානය නම්   මහා ධර්ම සමුද්‍රයකි . නමුත් සන්ක්ෂේපයෙන් පවසත හොත් එය පරමාර්ථ ( චිත්ත , චෛතසික , රූප , නිබ්බාන ) ධර්මයන් විශ්වයේ එකිනෙක හා බැදෙමින් පවතින ආකාරයේ විග්‍රහයයි. 


පට්ඨානපකරණයේ ප්‍රථම භාගයේදී එලෙස අන්තර්ක්‍රියා කරන පරමාර්තයන්ගේ ප්‍රත්‍ය විසි හතරක් දේශනා කර තිබේ. ඒ ගාම්භීර ධර්මය පෙළ වශයෙන් අවබෝධ කර ගැනීම සාමාන්‍ය ජනයාට අපහසුය.  ශ්‍රී ලංකාවේත් බෞද්ධයන්ගේත් පිනට මේ ලක්දිව පහළවූ උතුම් යති රුවනක් වූ අති පූජ්‍ය රේරුකානේ චන්ද විමල ස්වාමීන් වහන්සේ ඒ මහා ප්‍රකරණයේ උගෙනුම සදහා සන්නයක් ලියා පළ කර ඇත. එය පට්ඨානය උගන්නවුන් සදහා ඇති හොදම ඉගෙනුම් මාධ්‍යයයි. මේ ලේඛන වලින් මහා පට්ඨානය උගැන්වීමට කිසිදු අදහසක් අපට නැත. මෙහිදී මහා පට්ඨානයේ යෙදීම් ලෝකයේ දක්නට ලැබෙන ආකාරය හා නූතන දැනුම මගින් එය වටහා ගන්නා ආකාරය ගැන විචිත්‍ර ලෙස සාකච්ඡා කිරීම පමණක් කරනු ලැබේ.

අභිධර්මය පිළිබද දැන ගැනීම  පොත් පත් කියවා ගුරු ඇසුරින් කළ යුත්තකි. ධර්මයෙන් ලෝකය දැකීම ඉන් පසු කළ යුතුය. ලෝකයේ ඇති දේ ධර්මයෙන් දැකීමට නම් ධර්ම ඥාණය දියුණු විය යුතුය. එසේම ලෝකය පිළිබදව  යෝනිසෝමනසිකාරයෙන් දැකිය යුතුය. පට්ඨානය පිළිබද රේරුකානේ හිමියන්ගේ සන්නය පරිශීලනය කිරීම මෙහි සදහන් දේ මැනවින් වැටහීමට ආධාර වනු ඇත. නමුත් එය නොකියවා තිබුණද මෙහි සදහන් වන දේ වටහා ගැනීමට හා ධර්ම ප්‍රීතිය ඇති කර ගැනීමට බාධාවක් නොවේ. ශ්‍රී ලාංකිකයන් වනාහි බුදුන්ගේ ආමිෂයට නොව ධර්ම දායාදයට හිමි කම් ඇත්තෝය. ශ්‍රී ලංකාවේ තරම් අභිධර්මය සාකච්ඡා වූ වෙනත් රටක් නැත. අද මුළු ලෝකයේම යමෙක් අභිධර්මය උගනී නම් ඒ ඉගෙන ගන්නේ අනුරාධපුරයේ සිංහල භික්ෂුවක වූ අනුරුද්ධ හිමියන් විසින් රචනා කළ අභිධර්මාර්ථ සංග්‍රහය ආශ්‍රයෙනි . එනිසා ශ්‍රී ලංකාවේ නැවත ධර්ම ප්‍රබෝධයක් ඇති කිරීමට ගැඹුරු දහම් කරුණු දැන සිටීම වැදගත් වේ.නමුත් ප්‍රත්‍ය විසි හතර පිළිබද සන්ක්ෂේප හෝ දැනුමක් නැත්තන් සදහා ප්‍රත්‍යයන්ගේ ලැයිස්තුව මෙසේය.අභිධර්මය මානසික විද්‍යාවක් හෙයින් චිත්ත චෛතසික කෙරෙහි මූලිකත්වය දෙමින් ප්‍රත්‍යයන් විග්‍රහ 
කර තිබේ.

1. හේතු ප්‍රත්‍යය.
2.ආරම්මණ 

3.අධිපති ප්‍රත්‍ය
4.අනන්තර ප්‍රත්‍ය
5.සමනන්තරප්‍රත්‍යය 
6.සහජාතප්‍රත්‍යය 
7.අනන්‍යෝන්‍ය
8.නිඃශ්‍රය
ප්‍රත්‍යය
9.උපනිඃශ්‍රය ප්‍රත්‍යය 
10.පුරේජාත
11.පශ්චාජාත
12.ආසේවන
13.කර්ම
14.විපාක
15.ආහාර
16.ඉන්ද්‍රිය
17.ධ්‍යාන
18.මාර්ග
19.සම්ප්‍රයුක්ත
20.විප්‍රයුක්ත
21.අස්ති
22.නස්ති
23.විගත
24.අවිගත


 මේ සියලු ප්‍රත්‍යයන්ගේ  දැක්වීමෙන් පිළිබිඹු වන කරුණු කීපයක් මෙහිදී දැක්විය යුතුය.එනම් බුදු දහම යනු හේතුව නිසා ඵලයක් පමණක් ඇතිවන ආකාරයේ දර්ශනයක් නොවේ. බහු විධ හේතු ප්‍රත්‍ය න්‍යායකි. ලෝකයේ පැවැත්ම ඇතිකරණ ප්‍රත්‍යයන් හා ඵල මකුළු දැලක් සේ එකට බැදී ඇත. එකක් නැති කල්හි තවත් එකක් වේ . මහා පට්ටානය නම් එයයි. බුදු රජානන් වහන්සේ ඒ ගැටය ලිහනු පිණිස ඇති ක්‍රමය දේශනා කළ සේක.නමුත් ලිහන්නට පටන් ගත හැකි ක්‍රම රැසකි. එකම ගගට බසින්නට තොටමුණු රැසක් ඇත්තාක් මෙනි. සත්තිස් බෝධි පාක්ෂික ධර්මයෝ නම් ඒවාය. ගැටය ගැන නොදන්නා අයෙක් වුවද ගැටය ලිහන ක්‍රමය අනුගමනය කරයි නම් ගැටය ලිහෙනු ඇත.  පට්ඨානය නම් ගැටයේ ස්වභාවය විශ්ලේෂනයයි.  ගැටය ලිහන්නට අවශ්‍ය පුද්ගලයාට ලිහන ලද කෙනෙක් උපදෙස් දේ නම් ඔහුට එය ලිහීමට පහසුය. එබන්දෙකු නැත්නම් ඔහු ගැටය ගැන මනා අවබෝධයක් ඇතිකර ගැනීම සිදු කළ යුතුමය. පට්ටානය උගෙන වටහා ගැනීමේ අරමුණ නම් එය විය යුතුය.

No comments:

Post a Comment