ලෝකයෙන් මිදීම.
වරක් එක්තරා භික්ෂුවක් තථාගතයන් වහන්සේ වෙත පැමිණ තමා දැන් වයස්ගතවී සිටින නිසා තරුණ කල මෙන් පහසුවෙන් සමාධියක් සිතේ ඇතිකර ගැනීමට නොහැකිබව සන්වේගයෙන් යුතුව පැවසීය. මීට බුදු රජාණන් වහන්සේ දුන් පිළිතුර නම් ඒ ගැන කණගාටු නොවන ලෙසයි. මන්ද බුදුවරු ලොව උපදින්නේ මිනිසුන්ට භාවනා කර සමාධිය ඇති කරගන්නා අයුරු දේශනා කිරීමට නොවේ. ඊටත් පහළින් ඇති සීලයක මිනිසුන් හික්මවීමටද නොවේ. අද ඇතැම් බෞද්ධයෝ සිතන්නේ බුදුවරුන්ගේ කාර්යය මිනිසුන් සිල් රැක්කවීමයි කියාය. එනිසාම ඇතමුන් නිවසේ සිට පන්සලේ හාමුදුරුවන් සිල් රැක්කවීමට උනන්දු වෙයි. එසේනම් බුදුවරුන්ගේ ධර්මයේ පරමාර්ථය කුමක්ද? ඒ ප්‍රඥාවයි. ප්‍රඥාව ලබා ගැනීම පිණිස එය සම්පූර්ණ කිරීම පිණිස මාර්ගය බුදුවරු පෙන්වා දෙති. ප්‍රඥාව ලබාගත් පසු එය මගින් සසර දුකින් මිදී විමුක්තිය සාක්ෂාත් කිරීම පුද්ගල කාර්යයකි. බුදු දහම වූ කලි අනුපූර්ව ශික්ෂා මාර්ගයකි. ප්‍රඥාව ආකාශ්මිකව යාඥාවකින් පහළ වන්නක් නොවන බැවින් ඊට පරිෂ්කාර පිණිස සමාධිය පණවා ඇත්තේය. සමාධියට පරිෂ්කාර පිණිස සීලය පණවා ඇත්තේය.
පෘථග්ජනයා පළමුව ආර්ය ශීලයක හික්මී ඉන්පසු සමාධිය දියුණු කර ප්‍රඥාව කරා ළගාවීම අනුපූර්ව ක්‍රමවේදයයි. සිල්වත් වීම භාවනාවෙන් ඉහළ සමාධියකට පත්වීමට උපකාරයකි. සමාධිය හෙවත් සිතේ සන්වරය දියුණුවන තරමට ප්‍රඥාව වැඩෙනු පිණිස සිත සකස්වේ. එසේ නොමැතිව සිල්වත් වීම හෝ සමාධියකට සිත පත් කිරීම බුදු දහමේ නිෂ්ටාව නොවේ. ආර්ය ප්‍රඥාව සමාධිමත් සිතක ඇති වන්නකි. නීවරණයන්ගෙන් තොර සිතක හැසිරෙන්නකි. එහෙත් ඒ ප්‍රඥාව හුදෙක් සිත සමාධිමත් වූ පමණින් හෝ ඉහල ධ්‍යානයකට සිත පත් වූ පමණින් නොලැබේ. ප්‍රඥාව වැඩෙන්නේ විදර්ශනාවෙනි. විදර්ශන යන වචනයේ අර්ථය නම් විශේෂයෙන් දැකීමයි. ලෝකයේ යථා ස්වභාවය සුවිශේෂී නුවණින් මෙනෙහි කිරීමයි. නීවරණයන්ගෙන් තොරවූ සිතක ලෝකයේ යථා ස්වභාවය හොදින් ගෝචර වේ. එහෙත් ප්‍රඥාවෙන් අධික උතුමන් සුවිශේෂී උසස් ධ්‍යානයන්ගෙන් තොරවම තම ප්‍රඥාවෙන් යථාභූත ඤාණදර්ශනය ලැබ අර්හත්වයට පත්වෙති. ශුෂ්ක විදර්ශක ( ප්‍රඥා විමුක්ත ) මහරහතන් වහන්සේලා යනු මොවුන්ය.
විදර්ශනාව වඩන ආකාරයත් ඊට ගත හැකි කර්මස්ථානත් ත්‍රිපිටකය පුරාම විස්තර වේ. එහෙත් විදර්ශනා කර්මස්ථානයන් එක් එක් පුද්ගලයාට අරමුණු වන්නේ තමාට සාපේක්ෂවය. චුල්ල පන්ථක තෙරණුවන්ගේ කථාව , සෝණ රන්කාර භික්ෂුවගේ කථාව මෙලෙස එක් එක් අය තම ප්‍රඥාව සුවිශේෂී අයුරින් වඩා ගත් පුවත් වලට නිදසුන්ය. මේ විදර්ශනාව ලෝකය ඇති සැටියෙන් දැකීමයි. එසේනම් පළමුව ලෝකය යනු කුමක්දැයි බලමු.
ලෝකය යනු මේ බඹයක් පමන වූ ශරීරයයි. ලෝකය මෙන්ම ලෝක සමුදයද, ලෝක නිරෝධයද, ලෝක නිරෝධ ගාමිණි පටිපදාවද බඹයක් පමණ වූ ශරීරයම වේ.
මෙවැනි ධර්මයක් වටහාගන්නේ කෙසේද. ශරීරය නම් ආයතන වශයෙන් ගත් කල ඇස , කණ , නාසය , දිව, කය හා මනස යන ආධ්‍යාත්මික ෂඩායතනයන්ය. මේ ආධ්‍යාත්මික ෂඩායතනයන්ගෙන් රූප , ශබ්ද , ගන්ධ , රස , ස්පර්ෂ හා ධර්ම යන බාහිර ෂඩායතනය ග්‍රහණය කරගනී. ලෝකය යැයි පැණැවෙන්නේ මේ ක්‍රියවලියයි. ඇස කන නාසාදි ඉන්ද්‍රියයන් නොමැති නම් ලෝකයක් නොමැත. ලෝකයක් ඇත්තේ දැයි දැනගන්නේද නැත. ඇසත් රූපයත් එක්වී ඇසේ විඥාණය හටගනී. ඇසත් රූපයත් ඇසේ විඥාණයත් එක්වී ඇසේ ස්පර්ෂය හටගනී. ස්පර්ෂය ප්‍රත්‍යයෙන් වේදනා හටගනී. ඒ අනුව ඇසේ දුක් වේදනා , සුඛ වේදනා හා උපේක්ෂා වේදනා ඇතිවේ. ඇසේ ඇතිවූ වේදනාව සුඛ සහගත නම් එහි සිත් ඇලේ . ඒ ඇලීම තණ්හාවේ ප්‍රභේදයකි. වේදනාව දුක් සහගතනම් සිත එහි ගැටේ එයද තණ්හාවේ ප්‍රභේදයකි. මෙනිසා වේදනා ප්‍රත්‍යයෙන් තණ්හාව හටගනී යැයි කියනු ලැබේ. තණ්හාව නිසා උපාදානය හෙවත් අල්ලා ගැනීම සිදුවේ. සුඛ දුක්ඛ අදුක්ඛමසුඛ සියලු වේදනාවන් තණ්හාව නිසාම අල්ලාගනී.
ඇතමෙකුට මෙය ප්‍රශ්නයක් විය හැකිය. තණ්හාව ප්‍රිය වූ ප්‍රණීත වූ සුඛ වේදනාවන්ට පමණක් ඇති වේයැයි ඔවුන් සිතනු ඇත. නැත. දුක් සහගත වේදනාවට ද තණහාව ඇතිවේ. ඒ උපාදාන ප්‍රත්‍යයෙන් භවය හටගන්නා හෙයිනි. භව නම් වැඩීමයි. අල්ලාගත් අරමුණ විවිධාකාරයෙන් පෝෂණය කරමින් පෘථග්ජනයා එය වඩයි. අතීතයේ වූ දෙයක් නැවත සිහි කරන විට ඒ මොහතේ ඇති වූ සිතුවිලි යළි ඇති වෙන්නේ ඒ අවස්ථාවේ වේදනාව සිතේ වැඩීමට ලක්වූ හෙයිනි. මේ භවය නිසා ජාතිය හෙවත් ඉපදීමද ඉපදීම නිසා ජරා මරණාදී දුක්ඛස්කන්ධයද හටගනී.මේ අයුරින් තමා සතු ආයතන හයෙන්ම ජාතිය පිණිස එය පවත්වනු පිණිස ක්‍රියා කරයි. රහතන් වහන්සේටද මේ ඇස් කන් ආදි ආයතන ඇත. උන් වහන්සේද රූප ශබ්දාදි බාහිරායතන සහිත මේ විශ්වයේම වාසය කරති. රහතුන්ගේ ඇසද රූපයද එක්වී ඇසේ විඥාණය හටගනී. මේ තුනම එක්වී ඇසේ ස්පර්ෂද හටගනී. ස්පර්ෂ ප්‍රත්‍යයෙන් දුක්වේදනා , සැප වේදනා රහතන්වහන්සේටද ඇතිවේ.නමුත් රහතන් වහන්සේ තණ්හාව සම්පූර්ණයෙන් ප්‍රහාණය කර ඇති නිසා වේදනා ප්‍රත්‍යයෙන් තණ්හාව හට නොගනී. එනිසා උපාදානය නැත , භවය ඇති නොවේ , ඉපදීමද සිදු නොවේ.
මෙය පටිච්ච සමුප්පාද ධර්මය දැක්මේ විකල්ප මාර්ගයකි. ප්‍රඥාව වඩනු පිණිස ලෝකයේ ස්වභාවය පටිච්ච සමුප්පාද වශයෙන්, ආයතන වශයෙන් හා ධාතු වශයෙන්ද දැකිය යුතුය. ඒ ප්‍රඥාව වැඩීමට කල්‍යාණ මිත්‍ර සත්පුරුෂයන් ආශ්‍රය කළ යුතුය. පරතෝ ඝෝෂප්‍රත්‍ය හෙවත් ධර්මය අන් අයගෙන් දැන ගන්නට ලැබෙන පරිසරයක වාසය හා තමා තුළ ඇති යෝනිසෝ මනසිකාරය ප්‍රඥාව වැඩීමට ඉවහල් වේ.සත්වයා යනු රූප , වේදනා සඤ්ඤා , සන්ඛාර හා විඥාණ යන පන්චූපාදන්ස්කන්ධයක එකතු වීමකි. මෙයින් එකක් වත් නොමැති තැනක සත්වයෙක් යැයි පැණවීමක් නැත. මෙය වටහා ගනු පිණිස උපමා වශයෙන් ත්‍රිපිටකයේ මෙලෙස දක්වා තිබේ.
"රූපය පෙණ පිඩක් බදුය." (ඵෙණ පිණ්ඩූපම)
පෙණ පිඩ යනු ඉතා කුඩා බුබුලු රැසක එකතුවකි. සෑම මොහොතකම ඒ පෙණ පිඩේ සියුම් පෙණ බුබුලු බිදේ.එසේම සෑම මොහොතකම අලුත් පෙණ බුබුලු ඇතිවේ. ඇතිවෙන හා විනාශවන බුබුලු අතර සමතුලිත තාවක් ඇතිවීම නිසා පෙනපිඩ ඒකාකාරීව ඇතැයි වැටහේ. නමුත් සත්‍ය තත්වය නම් එය මොහොතක් පාසා විනාශවන වස්තුවකි. යම් මොහොතක ඵෙණ පිඩ ප්‍රතිනිර්මාණය වන වේගයට වඩා වේගයකින් විනාශ වීමට පටන් ගනී. සත්ව ශරීර මෙසේය. පෙණ පිඩක් කුඩා දිය බුබුලු රැසකින් සෑදෙන්නා සේ ශරීරයද සෛල ට්‍රිලියන තුනක පමණ සන්ඛ්‍යාවක එකතුවකි. ඒ සෛල මොහොතක් පාසා විනාශ වේ. එක් සෛලයක් දෙකට බෙදෙමින් අනූනණ විභාජනයෙන් නව සෛල බිහිවේ. සියලු සතුන්ගේ සිරුර එක් සෛලයකින් ඇරඹිණ. කුඩා කල සිට තරුණ කල තෙක් සිරුරේ සෛල අතිවෙන වේගය වැඩිය. ඉන්පසු ක්‍රමයෙන් මේ සමතුලිතය විරුද්ධ දෙසට නැඹුරුවේ. විය පත් වීම ජරාවට පත් වීම නම් මෙයයි. මේ දේශනාව සැසදීමේදි විද්‍යාව සමග බැවින් කිසිදු විශේෂයක් අදද නොපෙනේ. එහෙත් මෙය බුදුහිමියන් ජීවමාන යුගය සමග සසදා බැලිය යුතුය.
ඉන් පසුව බිහිවූ බොහෝ ආගම් වල සතුන් මැටියෙන් පසින් සෑදු ප්‍රතිමා වලට දෙවියන් විසින් ජීවය පොවා සාදන ලද නිර්මාණය. කුරාණය මිනිසා මැටියෙන් සාදා රූහ් නම් ආත්මය එය තුළට පිඹින ලද බව ස්ථිර කරයි. බයිබලයද මිනිසා ඒ අයුරින්ම මැටියෙන් සාදන ලද බව පවසයි. මැටියෙන් සාදන ලද ප්‍රතිමා යනු සම්පූර්ණයෙන්ම ඝන සන්තතික නිර්මාණය. ජීවින් සෛල වලින් නිර්මාණය වී ඇති බව 18 වන සියවසේදි සොයාගන්නා තෙක් සියල්ලෝම මේ සිරුරු මාන්ශ ඝන වූ පදාර්ථයකින් සෑදි ඇතැයි විශ්වාස කළහ. එහෙත් සෛල වලින් සැදුණු සත්ව රූපය පෙණ පිඩකට උපමාකර බලන ලෙස තථාගතයන් වහන්සේ පැවසූයේ ඉතා ඈත කාලයදීය.
මේ රූපයේ නිස්සාර භාවය අනිත්‍ය දුක්ඛ අනාත්ම යන ත්‍රිලක්ෂණය ඔස්සේ සිත වඩමින් මෙනෙහි කළ යුතුය. අනිත්ය භාවය මෙනෙහි කිරීම අනිමිත්ත සඤ්ඤාව නම් වේ. අනිමිත්ත යන්නෙහි අර්ථය නම් නිමිති කරගත නොහැකි යන්නයි. අපේ මේ මොහොතේ ඇති ශරීරය තවත් මොහොතක නැත. මන්ද සිරුර නිර්මාණය වූ සෛල ඒ මොහොතේදී බහුලව විනාශවී ඇතිවූ බැවිනි. සිරුරේ වැඩිම කාලයක් පවතින සිල ලෙස මොළයේ න්‍යුරෝන ආදිය දැක්විය හැක. ඇතැම් සෛල ජීවිත කාලය පුරාම පවතී. ඇතැම් සෛල වල ආයුකාලය පැය කීපයකි. රතු රුධිර සෛලයක ආයු කාලය දින 120 කි. එනම් අදින් මාස 4ක් ගිය පසු අපගේ රුධිර පටකයම වෙනත් සෛල වලින් ප්‍රතිස්ථාපනය වී ඇත.මේ සෛල කතාව පෙන්වාදුන්නේ අවබෝධය මදක් පහසු කිරීමටයි. සැබවින්ම සෛල නැත. සෛල සෑදෙන්නේද පරමාණුක අන්ශු වලිනි. ඒවා ධාතු එක්වූ රූප කලාප වලින් සෑදේ.මේ රූප කලාප චිත්තක්ෂණ 17 පාසා අධි වේගයකින්. ඇතිවී නැතිවේ. එය මිනිසෙකුට තියා බ්‍රහ්මයෙකුටවත් නිමිතිකරගත නොහැක්කකි.
අපගේ නිවෙස් වලට සපයන විදුලිය හර්ට්ස් 50 ක සන්ඛ්‍යාතයකින් යුතුය. මෙහි ප්‍රතිඵලය නම් අප දල්වන විදුලි පහනක් තත්පරයකට 50 වරක් නිවෙන බවයි 50 වරක් දැල්වෙන බවයි. එහෙත් එදෙස බලාසිටින කිසිවෙකුට ඒ නිවි නිවී දැල්වීම ග්‍රහණය කරගත නොහැක. මන්ද අපගේ චක්ෂූර් ඉන්ද්‍රිය එතරම් තීව්‍ර නොවන හෙයිනි. විදුලි පන්කාවක් තත්පරයට 50 වරක් නවතී. එහෙත් කිසිවෙකුට එය නොවැටහේ. රූපවාහිණිය තත්පායට 50 වරක් නිවුණාට එය බලා රස විදින කිසිවෙකුගේ රසාස්වාදයට බාදාවක්ද නොවේ.මේ සියල්ල සන්තතික යැයි සියලු දෙනාට වැටහේ නමුත් සත්‍ය එය නොවේ. අප සිරුර තත්පරයක් තුල ප්‍රකෝටි වතාවක් පමණ විනාශවී නැවත ඇතිවේ සත්‍යනම් එයයි. රූපකලාප ඇති වී නැතිවේ. එය කිසිවෙකුට නිමිති නොවේ. ශරීරය පමණක් නොව සමස්ත ලෝකයේ සියලු පදාර්ථද ශක්තියද ඒ අයුරින්ම ඇතිවෙමින් නැතිවේ . නිමිත්ත ග්‍රහණයටවත් කිසිවෙකුට නොහැක. මේ අයුරින් මෙනෙහිකිරීම අනිමිත්ත සඤ්ඤාවයි.
දුක හෙවත් දෙවන ලක්ෂනය නුවණින් මෙනෙහි කළ යුත්තකි. ඒ අප්පණිහිත සඤ්ඤාවයි.(අප්‍රණීත ) රූපය යනු දුකකි. මොහොතක් පාසා වෙනස්වන, විනාශවන රූපයේ කිසිදු සුවයක් නැත්තේය. ඇසේ හටගන්නා සුඛ වේදනාව ඇති වන්නේ කෙසේදැයි සළකා බලමු. ආධ්‍යාත්මික ඇස හා බාහිර රූපය නිසා ඇසේ විඥාණය ත් මේ තුන නිසා ස්පර්ෂයත් එනිසා සුඛ වේදනාවත් හටගති. ඇස යනු මොහොතක් පාසා වෙනස්වන විනාශවන රූප කලාප වලින් සෑදුණු ධාතු සමූහයකි. ඊට අරමුනු වූ රූපයද ඒකාන්තයෙන්ම මොහොතක් පාසා වෙනස්වන විනාශවන රූප කලාප වලින් සෑදුණු ධාතු සමූහයකි. විනාශවන දෙයක් නිසා හටගන්නා සියල්ල විනාශ වේමය. එනිසා මේ දෙක නිසා හටගත් විඥාණය අනිත්‍ය වේ, ස්පර්ෂයද අනිත්‍ය වේ. එනිසා හටගත් වේදනාවද ඒකාන්තයෙන්ම අනිත්‍ය වේ. මෙනිසා කිසිදු ප්‍රණීත බවක් මධුර බවක් ලෝකයේ නත. සත්‍යනම් එයයි. මෙය මේ අයුරින් වැඩීම අප්පණිහිත සඤ්ඤාවයි.
ලෝකයේ කිසිදු නිත්‍ය යැයි හදුන්වාදිය හැකි සැපයැයි හදුන්වා දිය හැකි කිසිවක් නැත. එනිසාම සත්වයාගේ ශරීරයේ කිසිවක මමය කියන්නාවූ ආත්මයක් , මගේ යැයි කිව හැකි කිසිවක් නැත්තේය. එසේම සත්වයාගේ වේදනා, සඤ්ඤා , සන්ඛාර , විඥාණ යන පන්චස්කන්ධයේම ආත්මය යැයි කිව හැකි කිසිවක් නොමැත. මෙය නුවණින් මෙනෙහි කළ යුතුය. මේ සුඤ්ඤත සඤ්ඤාවයි. සුඤ්ඤත යනු ශුන්‍යත්වයයි. මේ ලෝකය මහත් හිස්වූ ස්වභාවයක් ඇති බව තථාගතයන් වහන්සේ පෙන්වාදුන් සේක. සියලු රූප ඇසට ඝන අයුරකින් දිස් වුවද ඡායාවන් බදු හිස් වස්තූන්ය. ගන බොල් මහ පොළව මහත් හිස් වූ වස්තුවකි. අපගේ ශරීරද එසේමය. ආත්මයැයි කිව යුතු දෙයක් තිබීමට වත් ඉඩක් නොමැත. මෙය ධාතු වලින් පහදා ගැන්මට පළමුව පරමාණුක මට්ටමෙන් වටහා ගනිමු.
අර්නස්ට් රදර්ෆර්ඩ් පරමාණුක ආකෘතිය සෑදීමට දායක වූ විද්‍යාඥයෙකි. ඔහු පරමාණුවේ ස්වභාවය නිරීක්ෂණය කරනු පිණිස සියුම් ස්වර්ණ පත්‍රයකින් පරීක්ෂණයක් සැළසුම් කළේය. ( ගෛගර් හා මස්ඩන් පරීක්ෂණය ) ස්වර්ණ පත්‍රය චාපාකාරව තබා ඒ දෙසට ත්වරණය කරන ලද ඇල්ෆා කිරණ විවර්ෂණය කළේය. (ඇල්ෆා කිරණ යනු ප්‍රෝටෝන දෙකක් හා න්‍යුට්‍රෝන දෙකක් ඇති හීලියම් න්‍යෂ්ටිය )මේ පරීක්ෂනයේ ප්‍රතිඵල වූයේ
ඇල්ෆා කිරණ වලින් අති බහුතරය රන්පත විනිවිද ගියේය
සුලු ප්‍රමාණයක් සුලු හා මහා කෝණ වලින් අපගමනය විය
ඉතා සුළු ප්‍රමාණයක් ආපසු පරාවර්තනය විය
මෙයින් ලත් නිරීක්ෂන වලින් තහවුරු වූයේ පරමාණුවෙන් අති මහත් ප්‍රදේශය හිස් අවකාශයක් බවය . මුලු පරමාණුවෙන්ම 99.9999999999996% ප්‍රතිශතය ශුන්‍ය අවකාශයයි . ඉතිරි ප්‍රදේශයේ ප්‍රෝටෝන හා න්‍යුට්‍රෝන අඩන්ගු න්‍යෂ්ටිය අඩන්ගු වේ.මෙවැනි ශුන්‍ය පරමාණු එක්වී සියලු පදාර්ථය සෑදේ. එනිසා එවැනි පදාර්ථවල භෞතික වශයෙන් පැහැදිළිව පෙනෙන ශුන්‍ය ප්‍රදේශ අවකාශ හරුණු විට 99.9999999999996% පරිමාවක් කිසිවක් නැති ආකාශය වේ. මහ පොළොව හිරු සදුද එසේය . හිස්වූ ශුන්‍ය වස්තූන්ය. සැබවින්ම මේ ශුන්‍යතාවේ ප්‍රතිශතය මීටත් වඩා වැඩිය . මන්ද ශුන්‍ය නොවූ 0.0000000000004% ක ප්‍රතිශතය පිරෙන න්‍යුට්‍රෝන ප්‍රෝටෝන ආදි උප පරමාණුක අන්ශු සෑදෙන ක්වාර්ක් ඉතා ලිහිල්ව අසිරුණු නූල් ජාලාවන් බදුය . ඒවා තුලද අවකාශය ඇත. අභිධර්මානුකූලව ගත හොත් රූප කලාප සෑදිමේදි එක් එක් ධාතුන් පවා ආකාශ ධාතුවෙන් පරිච්ඡේද වීම සිදුවේ. ඔබ දකින ඔබේ රූපයෙන් 99.9999999999996% ට වඩා අනිවාර්යයෙන් සම්පූර්ණ හිස් අවකාශය වේ. එහි ගතයුත්තක් ගණ බවක් ආත්මයක් නැත්තේය. මෙසේ නුවණින් මෙනෙහි කිරීම ශුන්‍යත්ව සඤ්ඤාවයි.
ලෝකයේ යථා ස්වභාවය හෙවත් පරම සත්‍ය නම් මෙයයි. සියලු දෙනා මෙය තම ප්‍රඥාවේ පමණින් මෙනෙහි කොට වැඩිය යුතුය. ධර්මය වූකලි ස්වාක්ඛාතය. තමා විසින්ම අවබෝධ කරගත යුතුය. ඉහළ ධ්‍යානයකට සිත පත්කළ විට මේ මනසිකාරය මැනවින් සිත් තුළ ක්‍රියාකරයි. ප්‍රඥාව වැඩීම පිණිස ලෝකයේ යථා ස්වභාවය වටහා ගැනීමට සම්ම්ධිමත් සිතකින් ත්‍රිලක්ෂණය මෙනෙහි කළ යුතුය. සමාධිය නිසා ලෝකයේ යථාභූතඤාණ දර්ශනය ඇතිවේ . මෙලෙස ලොව යථා ස්වභාවය දක්නා පුද්ගලයා කිසිවකට නොඇලේ. සියල්ලෙහි අවබෝධයෙන් කළකිරේ. යථාභූත ඤාණදර්ශනයෙන් නිබ්බිදා ඤාණය ඇතිවේ යැයි මෙනිසා දේශනා කරන ලදී. නිබ්බිදාව යනු අවබෝධයෙන් කලකිරීමයි. නිබ්බිදා ඤාණය ප්‍රත්‍යයෙන් විදර්ශනා ඤාණය හෙවත් විශේෂ දැක්මේ ඤාණය අතිවේ. විදර්ශනා ඤාණය ප්‍රත්‍යයෙන් විරාගය හෙවත් සිත සියල්ලෙන් මිදීම ඇතිවේ. විරාගය ප්‍රත්‍යයෙන් විමුක්තිය ඇතිවේ. විමුක්තිය ප්‍රත්‍යයෙන් ආසවක්ඛය ඤාණය හෙවත් තමා කළ යුත්ත සම්පූර්ණයෙන් කර අවසන් කර අර්හත්වයට පත්වූබව දැනගන්නා නුවණ පහළ වේ.
අතිවිශිෂ්ට පැහැදිලිකිරීමක් ... මෙවැනි වටිනා ලිපි තව තවත් ගෙන ඒමට ශක්තිය ධයිර්ය ලැබේවා ...
ReplyDeleteමම බොහොම කලකට පසු කිය වූ හොදම, වටිනා ලිපියකි මෙය...ඔබට තවත්.මෙලෙස සද්ධර්මය ප්‍රචාරණය කිරීමට ධහිර්‍ය්ය මෙන්ම ශක්තිය ලැබේවායි ද ඔබට සියලු දෙවි දේවතාවුන්ගේ ආරක්ශාව නොමදව ලබේවායි ද පතමි !
ReplyDeleteවැදගත් මචං... ජයෙන් ජය...!
ReplyDelete