විමුක්ති මාර්ගය

 මෛත්‍රී භාවනාව 



අපමණ කලක් සන්සාරයේ දුක් විදිමින් සැරිසරන පෘථග්ජන සත්වයන් මේ සසරේදි අත්විදින දුක් ප්‍රමාණ කර දැක්වීමට තථාගතයන් වහන්සේටද උපමා නොමැති විය. එකම මවක් මිය යාම හේතුවෙන් හෙළූ කදුලු මහා සාගරය පරයයි. එලෙසම මේ සසරේ තමාගේ මව නොවූ, පියා නොවූ, පුතු නොවූ, දුව නොවූ, එකදු සතෙක්වත් නැත්තේමය. අතිශය දීර්ඝ කාලයක් සසරේ ගෙවා තිබීමත් මේ සසර ස්වභාවයෙන්ම අනන්ත ලෙස අහඹු වීමත් නිසා අප මේ සසරේ අත් නොවිදි සිදුවීමක් නැත්තේමය. වරක් එක් බමුණෙක් කිසිවෙකු පෙර වළ නොදැමූ තැනක තමා භූමදාන කරන ලෙස දැන්වීය. දරුවෝද ඉතා පෞරාණික වෘක්ෂයක් මුලිනුපුටා එය තිබූ තැන භූමදාන කළහ. මේ සිද්ධිය අරබයා බුදුන් වහන්සේ. ඒ බ්‍රාහ්මණයා පමණක් මේ නමින්ම හැටදහසක් වර එම ස්ථානයේම භූමදාන  කර ඇතැයි ප්‍රකාශ කළ සේක.
 මෙයින් මේ සන්සාරයේ අහඹු බව වටහා ගැන්මට හැකිවේ. මනුෂ්‍ය භාවය ඉතා දුර්ලභය ඔහු සතර අපායේ ඉපදුනු වාරම වැඩිය. එමගින් එක් සත්වයෙක් සසරේ විදින දුක් ප්‍රමාණය වටහා ගනීමට හැකිවේ. මේ මනුෂ්‍ය භවය වූ කලී සප්ත කාම ස්වර්ගයන්ගෙන් ලාමකම වූ ස්වර්ගයයි. අප මේ සිටින්නේ ස්වර්ගයේය. එනිසා ලෝකයේ දුක පිළිබද මිනිසාට ඇති අවබෝධය අල්පය. අපට ගෝචර වූ තිරිසන් අපාය විශ්ලේශණය කරන්නෙකුට ලෝකයේ දුක පිළිබද තරමක අවබෝධයක් ගත හැකිවේ. එහෙත් එය වූ කලි නරක දුක හා සසදන කල මහත් සැපයකි.

මේ අනන්ත වූ දුක් වලින් මිදීමේ, සසරින් ගැළවීමේ මාර්ගය නම් ශ්‍රී සද්ධර්මයයි. සීල සමාධි ප්‍රඥා යන ත්‍රිශික්ෂාව ඔස්සේ විමුක්තිය ලබනු පිණිස මග සකසා ගැන්මට ආරම්භක වූ පියවරයන් .මෙහි සදහන් කරමි. මෙය සමාධි අන්ගයට අයත් මෛත්‍රී භාවනාවයි . සීලයට පෙර මේ මෛත්‍රී භාවනාව ගැන පහදා දෙනුයේ එය ඉතා සරල මෙන්ම වඩාත් යහපත් මූලික අන්ගයක් ලෙස මා දකින නිසාය. නමුත් ඕනැම භාවනාවකට පෙර ශීලයේ මූලික ස්ථරය වන ඉන්ද්‍රිය සන්වරය වඩනු 
පිණිස පන්සිල් රැකගැනීම ඉතා වැදගත් වේ.
ඉතා සරල අයුරින් මෙත් වැඩීම ගැන මෙහිදී පහදා දෙන අතර ඉදිරියේදි විස්තරාත්මක ලිපියක් පල කරනු ඇත. බොහෝ දෙනා මෙත් වැඩීමේදි අනුගමනය කරන ක්‍රියා පිළිවෙලේ අඩුපාඩු මින් සාකච්ඡා වනු ඇත. මේ අයුරින් මෙත් වැඩීම ඔබ මින් පෙර කර නැතැයි මම විශ්වාස කරමි. ඉතා ප්‍රායෝගික ලෙස මෙය අනුපිළිවෙලින් අනුගමනය කරන්න. මෙත් වැඩීමට ආධුනිකයන් සදහා මෙය ඉතා යෝග්‍ය වනු ඇත.

1.කාර්ය බහුල නොවූ විවේකී අවස්ථාවක මම දැන් මෙත් වඩමියි අධිෂ්ඨාන කරන්න.
2.ශබ්දය අඩු විවේකී ස්ථානයකට යන්න.
3.භාවනාවට ඇතිවිය හැකි බාධාවන් වැළක්වීමට පූර්වෝපායන් යොදන්න.( මදුරුවන්, කෘමීන් ගෙන් විය හැකි උවදුරු. හදිසියේ වෙනත් අයෙකු පැමිණීමෙන් වන බාධාව )
4.දැන් ඔබට පහසු ඉරියව්වක බිම අසුන්ගන්න . පිට කිසිවකට හේත්තු නොකරන්න.
5.දෑස් වසාගන්න. ඉතා ආයාසයෙන් තද නොකර ආලෝකය ඇතුළු නොවන පමණට සෑහේ.
6.භාවනාවට පිවිසීමට කලබල නොවන්න. සිතින් ඔබ කළ යහපත් ක්‍රියාවක් මෙනෙහි කරන්න.
7. යහපත් ක්‍රියාවේ අතීතයට පිවිසෙන්න.
උදා. ඔබ ඉතා කුසගින්නේ උන් බල්ලෙකුට ආහාරයක් දුන් මොහොත. සිහි කරන්නේ නම් . ඒ ආහාරය ඒ සත්වයා අනුභව කිරීම. එමගින් ඒ සත්වයාගේ කුසගිනි වේදනාව සමනය වීම. ඒ හේතුවෙන් සතා සැපතට පත්වීම. අහාරයේ පල ලෙස ඒ සතාට ආයුෂ , සැප, බල , ප්‍රඥා ලැබීම. සත්වයා තවත් සැපතට පත්වීම යන අවස්ථා විවේකයෙන් මෙනෙහි කරන්න.
8.මේ අවස්ථාවේ ඔබේ සිතේ කරුණා චෛතසිකය අඩන්ගු වූ සිත් රැසක් ඇතිවී නැතිවේ. මතක තබා ගන්න මේ කරුණා භාවනාවට නොවේ සැරසෙන්නේ. කරුණා විතර්කය වඩනුයේ ඔබේ සිතේ ඇතිවූ විහේසා විතර්ක සමනයටයි. සත්වයා සුවපත් වූ අයුරින් අන් සියලු සතුන් සුවපත් වේවායි . සුළු වේලාවක් සිතන්න. මේ මොහොතේ වෙනත් කිසිවක් නොසිතා සත්වයා ලැබූ සුවය ගැන සිත මෙහෙයවන්න.

9 මේ කරුණා විතර්ක කරණ කොටගෙන ඔබේ සිතේ මෙත් වැඩීමට ප්‍රතිපක්ෂව තිබූ වෙහෙස දුරුවන බව ඔබට වටහෙනු ඇත. එසේ නොවැටහේ නම් කරුණාව වැඩී නැත.
මන්දයත්.

" මහණෙනි සිතේ ඇතිවූ විහේසා විතර්ක සමනය පිණිස කරුණා සන්ඥාව මිස වෙනෙකක් නොදකිමි"යි .

 ඉතිවුත්තක ලෙස බුදුන් වහන්සේ වදාළ හෙයිනි. එනිසා ඇතිවූ කරුණා සන්ඥාව වඩනු පිණිස තවත් උත්සහා කරන්න. වඩාත් කරුණාව සිතේ හටගත් අවස්ථා මෙනෙහි කර එයින් කරුණා සන්ඥාව තෝරාගෙන එය වර්ධනය කරන්න. මෙය කාල නාස්තියක් නොවේ.
යමෙකුට එසේ සිතේ නම් ඒ ඔහු භාවනාව ගැන නොදන්නා නිසාමය. මන්ද භාවනාව යනු එක් වචනයක් සිහි කරමින් සිතින් ජප කිරීම නොවේ 

 වැඩීමයි. වැඩෙන්නේ මොනවාද. ගස් වැඩේ. ක්ෂුද්‍ර ජීවී මාධ්‍ය වැඩේ. මේවා වැඩෙන්නේ කෙසේද? බීජයක් . කුඩා පැළයක් වේ. එය කුඩා ගසක් වේ. එය අතු බෙදී උස්ව වැඩේ. ද්විතියිකව කද වර්ධනය වේ. අතු පතර විහිදී මහා වෘක්ෂයක් වේ. පල වලින් මල් වලින් බරවේ.සමථයේදී සිතද මෙසේමය. 
කරුණා සන්ඥාව වර්ධනය කරන්නේද මෙසේයි. ඊට පෙර වර්ධනයට කරුණා බීජයක් සිතේ තිබිය යුතුය.

නැතුව ඉබේ කරුණා වෘක්ෂයක් නොවැඩේ. අතීත සිදුවීමක් අරබයා සිතේ උපන් කරුණාවම වර්ධනය පිණිස එය ගැඹුරින් හාරමින් කරුණාව සොයාගන්න. පසුව එය හැකිතාක් සතුන් කෙරේ පතුරන්න. දැන් ඔබේ විහේසා විතර්ක දුර්වල වී මෙත් වඩනු පිණිස සිත කර්මණ්‍ය වන්නේය.

10. දැන් මෙත් වැඩීම අරඹමු. මෙත් යනු මොනවාද? මෙය මිත්‍ර ධාතුවෙන් උපන්නකි . මිත්‍රභාවය මෙහි ගැබ්වී තිබේ. මෙත්තා යනුද මෙයයි. නමුත් මෙත්තා යනුවෙන් චෛතසිකයක් නැත. ? එසේනම් එය වඩන්නේ කෙසේද? මෙය දැන් විමසමු. 
අභිධර්මයේ චෛතසික විග්‍රහයේදී කරුණා හා මුදිතා චෛතසික අප්පමඤ්ඤා චෛතසික ලෙස දක්වා ඇති නමුදු සූත්‍රවල අප්‍රමෙය ලෙස දක්වෙන මෙත්තා හා උපේක්ඛා දක්වා නැත. මේ සත්‍ය පරමාර්ථ ධර්මයේ ස්වභාවය සර්වඥතා ඥාණයට ගෝචර වූ ආශ්චර්ය නිසාමය. චෛතසික පරමාර්ථයේ මෙත්තා චෛතසිකය අදෝස ලෙසත් උපේක්ඛාව තත්‍ර මජ්ජත්තතාව ලෙසත් දැක්වේ. මෙයම භාවනාවට මැනවින් ගෝචර වන අන්දමයි. 
කෙනෙකුගේ දුකක් දුටු විට පිහිට වීමට පෙළඹෙන්නේ ඒ අවස්ථාවේ උපදින සිත්වල කරුණා චෛතසිකය බහුල වීම නිසාය. ඉහත බල්ලාට කෑම දුන්නේ කරුණාව ඇති වූ නිසාය. මුදිතාවද මෙසේ ඇතිවේ. එහෙත් කිසි දිනක මෙත්තාව එසේ සිතේ අති නොවේ. මේ නිසාම කරුණාව හා මුදිතාව වඩනවාට වඩා මෙත් වඩීම අපහසුය. එසේම මහත්ඵලය මහානිසන්සය. ලන්කාවේ බොහෝ දෙනා මෙන්ම ඇතැම් ස්වාමීන් වහන්සේලාද මෛත්‍රී භාවනාවයැයි වඩන්නේ කරුණා භාවනාවයි. එය හොදින් සිහියේ තබාගන්න. කරුණාව මුලින් වඩන ලෙස උපදෙස් දුන්නේ පිරිසුදු මෛත්‍රී සන්ඥාව වඩන විට ඒ සමග නොපැටළීම සදහාද අභ්‍යාසයක් ලෙසයි.

මෛත්‍රිය වැඩෙන්නේද ගහක් සේමය. එනිසා මෛත්‍රී බීජ මුලින් සපයා ගත යුතුය. අතීත සිදුවීම් මගින් කරුණා බීජ සෘජුව සැපයුණද මෛත්‍රී බීජ එසේ නොලැබේ. එහෙනම් මෛත්‍රී බීජ සිතේ අතිකරගෙන වර්ධනය කරන්නේ කෙසේද? ඊට පිළිතුර ඉහත සපයා ඇත. අද්වේෂය වැඩීම පිළිතුරයි. 
අද්වේෂය නම් ද්වේෂයේ තොර බවය. ද්වේෂය නම් ක්‍රෝධය, වෛරය, උපනාහය මෙන්ම ශෝකයද යන කෙලෙස් වලට මුල් වූ අකුසල මූලයයි. මෙය බොහෝ අකුසල් සිත්වල යෙදෙන දැවිල්ල , තැවිල්ල ඇතිකරන චෛතසිකයකි. මෙය පැවතීම මහත් පීඩාවකි. මේ ද්වේෂය නිසා සතුන් මහත් පීඩාවට වෙහෙසට පත්වේ . අරමුණට එකග නොවන ලක්ෂණය මේ ද්වේෂයේ ස්වභාවයයි. ක්‍රොධය, වෛරය මෙන්ම ශෝකයද මේ ද්වේෂයේම අවතාරය. ද්වේෂය නැත්නම් ක්‍රෝධය හට නොගනී. ශෝකය හට නොගනී. සතුන්ට මහත් සැපයක් ඉන් අත්වේ. පටිඝ සන්යෝජනය මේ ද්වේෂය හටගැන්මේ මූලයයි. එනම් ගැටුම් සන්ඥාවයි. ගැටීම් නිසා තාපය උපදී. තැවිල්ල මෙයින් ඇතිවේ.
ඔබ කළ යුත්තේ ඔබේ සිතේ වෛරය , ක්‍රෝධය හා ශෝකය හටගත් අවස්ථාවක් සිහි කිරීමයි. ඒ විට ඔබ කෙතරම් පීඩාවකට දැවිල්ලකට පත්වීද. එය දුකකි. එය නැතිවීමෙන් මහත් සුවයක් ලැබේ. අන් සියලු සතුන්ද මා සේම ද්වේෂය නිසා විදින දුකින් නිදහස්ව සුවපත් වේවායි ඔබේ සිතේ හටගන්නා සන්ඥාව අද්වේෂයයි. මේ අද්වේෂ බීජයයි. දැන් ඔබ සන්යමයෙන් එම බීජය. පෝෂණය කළයුතුය. ඒ කෙසේද? ඔබ ද්වේෂයෙන් මිදී ලැබූ සුවය අන් සියලු සතුන් අත්විදින්නාක් සේ වස්තුකෘත කළ යුතුයි.

 මේ වාක්‍ය සිතින් ජප කිරීම නොව අභ්‍යන්තරයෙන් මෙත් සිත වඩා පෝෂණය කිරීම කල යුතුය. වාක්‍ය කීම සඥ්ඥාව අස්ථානගත වීමෙන් රැකදෙන්නක් පමණි


  •  සියලු සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා
  •  තරහා නැත්තෝ වෙත්වා
  •  ඊර්ෂ්‍යා නැත්තෝ වෙත්වා
  •  දුක් පීඩා නැත්තෝ වෙත්වා
  •  සුවසේ ජීවත් වෙත්වා  
  • ලද සම්පතින් නොපිරිහෙත්වා
 මවක් තම එකම පුතු කෙරෙහි පතුරුවන සිත මෛත්‍රියේ ප්‍රතිමූර්තියයි. එය තමා තුලින් මතුකර සියලු සතුන් කෙරෙහි නිර්බාධව පැතිරවීම මෙත් වැඩීමයි

මහග්ගත චේතෝ විමුක්තිය තමාගෙන් පටන්ගෙන තම නිවස, ගම නගරයව් වශයෙන් සියලු සතුන් දක්වා මෛත්‍රී ක්ෂේත්‍රය පුළුල් කිරීමයි. එය ආධුනිකයන් සදහා සුදුසුම ක්‍රමයයි. මෙමගින් යම් ස්ථාවරත්වයකට පැමිණි පසු දිශා අනුදිශා වශයෙන් මෙත් වැඩීම සුදුසුය. සිතේ ථීන මිද්ධය බලවත් වන විට මේ ආකාරය වෙනස් කිරීමෙන් කුසීත බව දුරු වී භාවනාවට සිත නැමේ. 
මෛත්‍රී භාවනාව මගින් පටිභාග නිමිත්ත ඉපදවිය හැකිය. එය ඉතා ප්‍රණීත තත්වයකි. නමුත් මෙය සමාධිය විස්තර කිරීමේ අරමුණින් නොලියන ලද හෙයින් ඒ ගැන මේ ලිපියේ සදහන් නොකරමි. මෛත්‍රී භාවනාව කුමක්ද හා එම සන්ඥාව වඩන්නේ කෙසේදැයි පමණක් විස්තර කර ඇති බව සළකන්න. මෛත්‍රී කර්මස්ථානය ද්විතිය ධ්‍යානය පිණිස පහසුවෙන් යොදා ගත හැක්කේය.
 විමුක්ති මාර්ගයේ ශීලයටත් පෙර මෙත් වැඩීම ගැන විස්තර කරනු ලැබුවේ මෙත් වැඩීම මහත්ඵල මහානිසන්ස වීමත් ජනයා මෙත් සිත නිසි ලෙස වටහා නොගැනීමත් නිසාය.
 යමෙක් සක්වලක් පුරවා බුදුන් ප්‍රමුඛ මහා සන්ඝයාට අෂ්ට පරිෂ්කාර දන්දෙනවාට වඩා. මොහොතක් සියලු සතුන් කෙරෙහි මෙත් වැඩීමම මහානිසන්ස බව දක්වන ලදී.

රාත්‍රියේ ඕෂධි තරුව අන් සියලු තරු අභිබවා දිලෙන්නා සේ මෙත්තා චේතෝ විමුක්තිය සියලු පින්කම් වලට ශ්‍රේෂ්ට වේ. ස්වර්ග ගාමි අනෙක් සියලු පින්කම් මෛත්‍රී භාවනාවෙන් ලැබෙන කුසලයෙන් දාසයෙන් එකක් තරම් වත් නොවන්නේය. මේ අයුරින් තථාගතයන් විසින් ප්‍රශන්සා කළ මෛත්‍රී භාවනාව නිසි පරිදි වැඩීම නිර්වාණගාමි ප්‍රතිපදාවට ප්‍රවිෂ්ට වන සැදැහැවතුන් අනිවාර්‍යයෙන් කළ යුතු භාවිතා කළයුතු බහුලීකෘත කළයුතු භාවනා කර්මස්ථානයක්ම වන්නේය.
එමගින් ලැබෙන ආනිසන්ස ( මෛත්‍රියේ ආනිසන්ස 11 කි ) ධර්ම මාර්ගයේදි මහෝපකාරි වීමත් ශීලය ආරක්ෂා කර ගනීමට මෛත්‍රියෙන් ලැබෙන අනුග්‍රහයත් නිසා මෙලෙස මෙත් සිතින් වාසය කිරීම ඉතා ප්‍රයෝජනවත්ය. 




1 comment:

  1. ක්ෂණික කෝපය මගහරවාගෙන සිත සමාධිගත කර මෙහෙයවා ද්වේශයෙන් සිත මුදවාගතහැකි සරල ක්‍රම පහදා දෙන ලිපියක් හෝ ලිපි පෙලක් ඇතුලත් කරණ ලෙස ඉල්ලාසිටිමි,තෙරුවන් සරණයි.

    ReplyDelete