Thursday, July 10, 2014

ශ්‍රී සද්ධර්මයේ ආශ්චර්යවත් හෙළිදරව්ව 06

ධාතු වල සාපේක්ෂ පැවැත්ම හා ධාතු නිරෝධය



ධාතු යන වචනය  යම් දෙයක තැනුම් ඒකක ව්‍යවහාරයටද යොදා ගන්නා බව ඉහත ලිපියකින් පෙන්වා දෙනු ලැබිණි. සම්මුති දේශනාවේ බොහෝ තැන් වල භාග්‍යවතුන් වහන්සේ එවැනි ව්‍යවහාර මාත්‍රයකින් ධාතු පෙන්වාදෙනු ලැබීය. සුත්ත පිටකයේ බොහෝ ස්ථාන වල. ධාතු නානාත්වය නම් සන්සිද්ධිය සුවිශේෂී දාර්ශනික  අර්ථ නිරූපණයකින් දේශනා කරනු ලැබේ.එනම් ධාතු 18 ක සන්කලනයක් ලෙසය.

චක්ඛු ධාතු ( ඇස හා ඇසේ රූප ග්‍රහණයට සමත් සමස්තය එකම ධාතුවකින් නිර්මාණය වේ යැයි උපකල්පනය කර දේශනා කිරීම )


රූප ධාතු ( ඇස මගින් ග්‍රහණය කළ හැක්කේ යමක්ද ඒ සියල්ල නිර්මිත ධාතුන් උපකල්පනය කිරීම )


චක්ඛු විඥාණ ධාතු (ඇසත් රූපයත් එක්වීමෙන් සත්වයාගේ චෛතසික ක්‍රියාවලිය ඇතිවීම ධාතු ආකාරයෙන් බැලීමේදි එම ක්‍රියාකාරිත්වයේ භෞතික ස්වභාවය )


කණ , නාසය , දිව , කය  හා මනස සම්බන්ධයෙන්ද ත්‍රිත්ව ධාතු සන්කල්පයක් දේශිතය . එම ධාතු 18 ධාතු නානාත්වය ලෙස හැදින්වේ.

   සැබවින්ම චක්ඛු ධාතුවක් නැත. ඇස රූප කලාප රාශියක් එක්වී සෑදෙන සන්කීර්ණ ඉන්ද්‍රියකි. නමුත් සාමාන්‍ය පුද්ගලයෙකුට කිසි දිනක ඇසේ සත්‍ය තැනුම් ඒකක වන චක්ඛු දසක  , චක්ඛු ප්‍රසාද රූප ආදිය දැකිය නොහැක. රූපය හා විඥානය සම්බන්ධයෙන්ද එසේය.අනෙකුත් ඉන්ද්‍රියයන් ගේද සත්‍ය නිර්මිත ධාතු ගෝචර නොවන නිසා ඔවුනට අවබෝධ කර දෙනු පිණිසම මෙවැනි ධර්ම පර්යායක් දේශනා කර ඇත.
  යමෙක් ඉන්ද්‍රියයන්ගේ රූපයන්ගේ සත්‍යම ස්වභාවය දකින්නේ නම් ආභිධාර්මික රූප පරමාර්ථය අධ්‍යයනය කළ යුතුය.
සත්‍ය වශයෙන්ම ඉහත අයුරින් ධාතුන් නොතිබුණද ලෝකය එලෙස ධාතුන්ගෙන් නිර්මානය වේ යැයි උපකල්පනය කිරීම ධර්ම මාර්ගය වැඩීමට කිසිදු බාධාවක් නොවේ. එය වඩාත් පහසුය. එනිසාම තථාගතයන් වහන්සේ සුත්‍ර වල ඒ අයුරින් ධාතු නානාත්වය දේශනා කරන ලදී. මෙය නූතන නිදර්ශනයකින් පැහැදිළි කරන්නේ නම් ආලෝකය සෑදෙන අන්ශුව කුමක්දැයි විද්‍යාඥයන් නිරීක්ෂණය කර නැත. එහෙත් ෆෝටෝන නම් කල්පිත අන්ශුවකින් ආලෝකය සෑදේ යැයි උපකල්පනය කිරීමෙන් විද්‍යාවේ ප්‍රගමනයට කිසිදු බාධාවක් නොවේ. සන්කීර්ණ සමීකරණ ඒ උපකල්පනය මගින් විසදිය හැකිය. දියුණු උපකරණ ක්‍රියාත්මක කරවීමටද ඒ උපකල්පනය පහසුවක් මිස බාධාවක් නොවන්නා සේය.

මජ්ජිම නිකායේ බහු ධාතුක සූත්‍රයේ භික්ෂුවක් පණ්ඩිතය, වීමන්සකය  යැයි පැවසීමට නම් කරුණු හතරකින් සමන්විය යුතු යැයි දක්වයි.

1. ධාතු කුසල විය යුතුය. ( ඕනෑම දෙයක ධාතු පැවැත්ම අවබෝධ කරගත යුතුය )
2. ආයතන කුසල විය යුතුය
3. පටිච්ච සමුප්පාද කුසල  විය යුතුය
4. ස්ථානස්ථාන කුසල විය යුතුය.


මෙයින් ධාතු කුසලතාවය යටතේ ප්‍රඥප්ති 6 කින් ලෝකයේ ධාතුන් බෙදිය හැකි අයුරු දැක්වේ. එහි දක්වා ඇති ධාතුන් සමස්තය 41 කි.



සන්යුත්ත නිකායේ ධාතු සන්යුත්තයේ සත්ත ධාතු වග්ගයේ ඇති සත්ත ධාතු සූත්‍රය සුවිශේෂී ධාතු විග්‍රහයක් සහිත දේශනාවකි. ඒ සූත්‍රයේ අඩන්ගු කරුණු සැකෙවින් මෙසේය.
ධාතූන් සතකි

1.ආලෝක ධාතු
2.සුභ ධාතු
3.ආකාසානඤ්චායතන ධාතු
4.විඤ්ඤාණානඤ්චායතන ධාතු
5.ආකිඤ්චානඤ්චායතන ධාතු
6.නෙවසඤ්ඤානාසඤ්ඤායතන ධාතු
7.සඤ්ඤා වේදයිත නිරෝධ ධාතු.

මේ ධාතූහු සත්‍ය වශයෙන්ම විද්‍යාමාන වන දේ නොවේ යමක් හේතුවෙන් පණවනු ලබන යමකට සාපේක්ෂව වටහාගත හැකි ධාතූන් වේ. මේ ධාතුන් හා ඒවා පැණැවෙන වැටහෙන දේ පහත අයුරිනි.
1.ආලෝක ධාතු - අදුර නිසා
2.සුභ ධාතු- අසුභය නිසා
3.ආකාසානඤ්චායතන ධාතු- රූපය නිසා
4.විඤ්ඤාණානඤ්චායතන ධාතු - ආකාසානඤ්චායතනය
5.ආකිඤ්චානඤ්චායතන ධාතු - විඤ්ඤාණානඤ්චායතනය 
6.නෙවසඤ්ඤානාසඤ්ඤායතන ධාතු - ආකිඤ්චානඤ්චායතනය
7.සඤ්ඤා වේදයිත නිරෝධ ධාතු.-  නාමස්කන්ධ නිරෝධය නිසා

මේ දේශනාවේ දැක්වෙන ආලෝක ධාතු අදුර නිසා ප්‍රකට වේ. අදුරනම් ආලෝකයේ නොපැවැත්මයි. ආලෝකය නම් අදුරේ නොපැවැත්මයි.  අදුර හා ආලෝකය ද්වෛතයකි.ඒ අයුරින්ම සුභය හා අසුභය ද අනෙක් ධාතුන්ද එකිනෙකට සාපේක්ෂව පවතී. 
මේ ධාතුන්ගෙන් ආලෝක ධාතු, සුභ ධාතුආකාසානඤ්චායතන ධාතු,විඤ්ඤාණානඤ්චායතන ධාතු.ආකිඤ්චානඤ්චායතන ධාතු සඤ්ඤා සමාපත්තියෙන් ලැබිය යුතුය . නෙවසඤ්ඤානාසඤ්ඤායතන ධාතු සන්ස්කාරාවශේෂ සමාපත්තියෙන් ලැබිය යුතුය. සඤ්ඤා වේදයිත නිරෝධ ධාතු. නිරෝධ සමාපත්තියෙන්ලැබිය යුතුය. බහු ධාතුක සූත්‍රයේ දැක්වෙන තවත් ධාතු විග්‍රහයක් අනුව ධාතු දෙකකි.





 
1. සන්ඛත ධාතු ( හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත් ධාතු ) 
2.අසන්ඛත ධාතු.(හේතු ප්‍රත්‍යයන්ගෙන් හට නොගත් ධාතු / නිර්වාණ ධාතුව ) 


මෙයින් නිර්වාණ ධාතුව වූකලී බුදුවරයන්ගේ සර්තා ඤාණයට විෂය වන ලෝකයේ සියලු අන්‍ය ධාතුන්ට ප්‍රති විරුද්ධ වූ සුවිශේෂ ධාතුවකි. එය හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත්තක් නොවේ. එනිසා සන්ස්කාර ධර්මයක් නොවේ. එබැවින් අනිත්‍ය නොවේ. අන් සියලුම ධාතුන් වූකලී. ශුද්ධාශ්ටකාදී රූප කලාප වලින් සෑදුණු සන්ඝටකයන්ය. රූපකලාප චිත්තක්ෂණ 17 පාසා නිරුද්ධ වේ. එනිසා සියලු රූප කලාප වලින් සෑදුණු සියල්ලද මොහොතක් පාසා වෙනස්වන අනිත්‍ය දුක්ඛ අනාත්ම යන ත්‍රිලක්ෂණයට යටත් සන්සිද්ධිය.

 අනිත්‍ය දෙයකින් සෑදුණු සියල්ලද අනිත්‍ය වේ, නිසැකවම විනාශයට පත්වේ. අනිත්‍ය නොවූ අසන්ඛත නිර්වාණ ධාතුව පමණක් විශ්වයේ අන්‍ය වූ ආනුභාවසම්පන්න පරම විමුක්තිය ලෙස ස්ථිතික වේ. නිර්වාණ ධාතුවේ ත්‍රිලක්ෂණය නොමැත. එහි පරම නිස්සරණ සුඛය පමණක් ඇත. එය සාක්ෂාත් කිරීමෙන්ම සන්සාරයේ විදි සියලු දුක්ඛස්කන්ධයන් හා සමාන වූ ප්‍රමාණයකින් සුඛය දනවන මහත් ආනුභාවයකින් යුතුය.
 සඤ්ඤා වේදයිත නිරෝධ සමාපත්තිය නම් එය සාක්ෂාත් කිරීමයි. ලොව අන් කිසිදු ධාතුවක් නිර්වාණ ධාතුව හා එක්ව නොපවතී. මන්ද ආලෝකය සුභය මෙන් එය ද්වෛත නොවේ එන්සාම නිර්වාණය අද්වෛතය නමින් හැදින්වේ. ආපෝ තේජෝ වායෝ පඨවි යන ධාතුන් කිසිවක් නිර්වාණ ධාතුව හමුවේ නොපවතී. නිර්වාණය ආධ්‍යාත්මික වූත් බාහිර වූත් සතර ධාතුන් නිෂේධනය කරයි. අනාගාමි ( කාය සක්ඛී ) උතුමන්ට හා මහරහතන් වහන්සේලාට මේ අත්බැව්හිම ජීවමානව නිර්වාණ ධාතුව ප්‍රකට කළ හැක්කේය . ඒ සඤ්ඤා වේදයිත නිරෝධ සමාපත්තියට සමවැදීමෙනි. ඇතැම් රහතන් වහන්සේලා එක දිගට දින 7 ක් නිරෝධ සමාපත්තියෙන් වෙසේ. ඒ කාලය තුළ කිසිදු ආශ්වාස ප්‍රශ්වාසයක් නොමැත. රුධිර සන්සරණයක් නොමැත. චලනයක් නොමැත. කවරෙකු හෝ ඒ උතුමාණන්ගේ සිරුරට ගිණි තැබුව හොත් ගිණි නොදැල්වේ. මන්ද නිර්වාණ ධාතුව සියලු සන්ස්කාරක ධාතුන්ට විරුද්ධව පන්චස්කන්ධය ආශ්‍රය කර පවතින හෙයිනි.බහු ධාතුක සූත්‍රයේ තවත් තැනක සියලු ධාතුන් 

1.කාමධාතු (කාම ලෝකයේ ප්‍රකට කෙරෙන ධාතු )
2.රූප ධාතු (රූප ලෝකයේ ප්‍රකට කෙරෙන ධාතු )
3.අරූප ධාතු ( අරූප ලෝකයේ ප්‍රකට කෙරෙන ධාතු )

ලෙස තුන් කොටසකට බෙදා දක්වයි. මෙමගින් පදාර්ථය අප මෙලොවදී දකින හදුනාගන්නා දෙයින් වෙනස් වූ ආකාරයන් ගෙන් බ්‍රහ්ම ලෝක වල පවතින බව වටහා ගත හැකිය.


කොතරම් පර්යේෂණ සිදුකළද විද්‍යාඥයන්ට කිසි විටක නිත්‍ය වූ ධාතුවක් සොයාගැනීමට හැකිවී නැත. පරමාණුවක් තුළ පවතින උපපරමාණුක අන්ශු සියල්ල නිරුද්ධවේ. මන්ද ඒ සියල්ල හේතුප්‍රත්‍යයන් වන ආහාර, චිත්ත, කර්ම, උතු ප්‍රත්‍යයන්ගෙන් හටගත් හෙයිනි.භෞතික විද්‍යාවේ සොයාගැනීම් අනුව සෑම අන්ශුවකටම ඊට සමාන එහෙත් ගුණයෙන් වෙනස් වෙනත් අන්ශුවක් ( උප පරමාණුක )පවතී . මෙය ප්‍රති අන්ශු වාදයයි( Anti particle ). ඉලෙක්ට්‍රෝනයට ස්කන්ධයෙන් හා සියලු පරාමිතීන්ගෙන් සමාන පොසිට්‍රෝනය ( ආරෝපනය ධන )සහ සෘණ ආරෝපණයක් සහිත ප්‍රති ප්‍රෝටෝන (Anti proton ) උදාහරණ වේ. මේ උප පරමාණුක අන්ශු වල ද්වෛත පැවැත්මට හේතු වන්නේ ඒවා සෑදුණු මූල ධාතු වල ද්වෛත භාවයයි. නියුට්‍රෝනය වනාහි අරෝපණයක් නොමැති උප පරමාණුක අන්ශුවකි එහෙත් එයටද ප්‍රති අන්ශුවක් පවතී. එනම් ප්‍රති නියුට්‍රෝනයයි. මෙයටද ආරෝපණයක් නොමැත. එහි ස්කන්ධය නියුට්‍රෝනයට සමානය එහි වෙනස නම් බාර්යොන් අන්කයේ(Baryon number ) වෙනසයි. මේ වෙනස විද්‍යාවෙන් පහදා දෙන්නේ නුට්‍රෝනය සෑදි ඇති ක්වාර්ක් වලට විරුද්ද වූ ප්‍රති ක්වාර්ක් ( Anti quark )වලින් ප්‍රතිනියුට්‍රෝනය සැකසීම නිසා බවයි. සොයා ගත් හා සොයා නොගත් සියලු සන්ස්කාර ධාතුන්ට මේ ද්විතය පොදු බව මෙයින් වැටහෙනු ඇත. කිසිවෙකුට ආධ්‍යාත්මික ගවේෂණයකින් මිස වෙනත් පර්යේෂණයකින් අසන්ඛත වූ නිර්වාණ ධාතුව සෙවිය නොහැක.
මජ්ජිම නිකායේ සුත්‍රයේ පුද්ගලයන් 6 දෙනෙකු දැක්වේ.

1. කලු උපතක් ලබා කලු කර්ම රැස්කරන්නා
2. කලු උපතක් ලබා සුදු කර්ම රැස්කරන්නා
3. සුදු උපතක් ලබා කලු කර්ම රැස්කරන්නා
4. සුදු උපතක් ලබා සුදු කර්ම රැස්කරන්නා
5. කලු උපතක් ලබා කලුත් නොවූ සුදුත් නොවූ නිර්වාණය රැස් කරන්නා
6. සුදු උපතක් ලබා කලුත් නොවූ සුදුත් නොවූ නිර්වාණය රැස්කරන්නා


මෙහි කලු උපත යන්නෙන් අකුසල් බහුල අත් බවයත් සුදු උපත යන්නෙන් කුසල් බහුල අත් බවයත් අදහස් වේ. කලු කර්ම යන්නෙන් අකුසල් ද සුදු කර්ම යන්නෙන් කුසල්ද අදහස් වේ. පෘථග්ජනයා සිදුකරන්නේ තමා සතු කලු සුදු කර්ම ගොඩ තව තවත් වැඩි කර ගැනීමයි නමුත් ආර්යයන් නිර්වාණ ධාතුව සාක්ෂාත් කිරීම මගින් කුසල් අකුසල් දෙපක්ෂයම ක්ෂය කරයි. එය නිර්වාණ ධාතුවේ ඇති ප්‍රත්ෂේධාත්මක බලය මගිනි. සෝවාන් පුද්ගලයා සන්සාරයේ තමා රැස්කළ කර්ම ආත්මභව 7 ට පමණක් සීමා වන පරිදි අන් සියලු කුසල් අකුසල් ක්ෂය කරයි. රහතන් වහන්සේ සෝපාදිසේස නිර්වාණ ධාතුව සාක්ෂාත් කිරීම තුළින් මේ ආත්මයේ ජීවිතය පැවැත්වීමට ප්‍රමාණවත් කර්මයන් හැර අන් සියල්ල ක්ෂය කර විමුක්තිය ලබයි. 



No comments:

Post a Comment