Tuesday, May 28, 2024

නූතන සුපිරි තන්ත්‍රවාදය (Super String Theory) හා ථේරවාදි බුදුදහම

 මෙම රචනය මගින් සිදුකරන හෙළිදරව්වට ප්‍රථමව මෙහිදී භාවිතා කරනු ලබන වාග් කෝෂය පිළිබඳ යම්  පැහැදිළි කිරීමක් සිදු කිරීම අත්‍යවශ්‍ය වේ.  වර්තමාන් භෞතික විද්‍යාවේ සුවිශේෂ සන්ධිස්ථානයක් වන String Theory යන්න සංස්කෘත වාග් ධාතු මූලාශ්‍රයෙන් සිංගලයට පරිවර්තනය කිරීමේදි ඊට තන්ත්‍රවාදය  යන නම උචිත යයි හඟිමි.  තන්ත්‍ර යන සංස්කෘත  වචනය  ඇදෙන සුළු යන අර්ථ ගන්වන  තන් ධාතුවෙන් නිශ්පන්න වන අතර ඉංග්‍රීසි String යන වචනය  ප්‍රාග්  ජර්මානු Strangaz යන්නෙන් නිශ්පන්නය.  මේ වදන් දෙකම  ආදි ඉන්දු යුරෝපියානු Strenk ධාතුවෙන් ව්‍යුත්පන්න වේ.  තන්ත්‍ර යන්න තන්තු ලෙස හෙළයට තත්භව වන අතර එය  ඉංග්‍රීසි String යන්නට පර්යාය වේ.  සිද්ධාන්තය අරුත් ගන්වන  වාදය යන්න සිංහලයෙහි Theory යන්නට පර්යාය ලෙස  බහුලව භාවිතා වී ඇත.

තන්ත්‍රවාදය සැකෙවින් පැහැදිළි කිරීම  දුර්ගම කර්ත්ව්‍යයක් වුවද පාඨකයන්ගේ වැටහීම පිණිස ඉතා සරලව හඳුන්වා දීම වැදගත්වේ.  නූතන භෞතික විද්‍යාව අනුව සියලු පදාර්ථයන්ගේ හා ශක්තීන්ගේ තැණුම් ඒකක ලෙස මෞලික අංශු 17 ක් හඳුනාගෙන ඇත. මෙය  සම්මත ආකෘතිය (Standard Model) ලෙස හදාරනු ලබයි.  මෙම මෞලික පදාර්ථ වෙනත් කිසිඳු පදාර්ථයකින් සංගෘහිත නොවේ. එනම්  මෙම අංශූන් තවදුරටත් තැනුම් ඒකක වලට බිඳිය නොහැක.  එම පදාර්ථ වනාහි ෆර් මියෝන හා බෝසෝන ලෙස දෙවර්ගයක් කොට බෙදා දැක්විය හැකිය.  ෆර් මියෝන වනාහි එකම ක්වාන්ටම් අවස්ථාවක අංශූන් දෙකක් එකවර පැවතිය නොහැකි ස්වභාවයක් දරන අතර බෝසෝන එලෙස පැවතිය හැකිය. විද්‍යාත්මකව මෙය පවුලිගේ බහිෂ්කාර නියමය පිළිපදින (ඉලෙක්ට්‍රෝන වැනි ) අංශු හා එසේ නොවන අංශු ලෙස විග්‍රහ කළ හැක.  මෙම  විග්‍රහය දුරවබෝධ අයට බෝසෝන හා ෆර් මියෝන වල  කෘත්‍යාත්මක වෙනසින් ඒවා වෙන්ව හඳුනා ගැනීම පහසු වේ.  ෆර් මියෝන වලට ශඩ් විධ ක්වාර් ක් අංශු , ඉලෙක්ට්‍රෝනය , මුවෝනය, ටුවෝනය හා මෙම ත්‍රිත්වයේ නියුට්‍රිනෝ තුන යන ලෙප්ටෝන සයද ඒවා සියල්ලේ ප්‍රති පදාර්ථයන්ද අයත් වේ.  මේ සියල්ලෙහි ස්කන්ධයක් පවතින අතර එම ස්කන්ධ වෙන වෙනම ගණනය කර ඇත.  ප්‍රෝටෝන , නියුට්‍රෝන  හා නන්විධ  ද්විතියික උප පරමාණුක අංශු  මේවාගෙන් ජනනය වේ. සියලු පරමාණු සකස්වන්නේ මේවාගෙනි. ඒ අනුව පදාර්ථ ලෝකය හා  රසායන විද්යා විෂයපථයට ආවරනය වන්නා වූ සියළු දෑ මේවාගෙන් නිර්මාණය වේ. 


බෝසෝන වලට ෆෝටෝනය, ග්ලූවෝනය , W බෝසෝනය හා Z බෝසෝනය යන ශක්ති වාහක අංශු සතරද  ස්කන්ධ ලක්ෂණය උපදවන  හිග්ස් බෝසෝනයද අයත් වේ. ෆෝටෝනය යනු කවුරුත් දන්නා විද්‍යුත් චුම්භක ශක්තියේ තැණුම් ඒකකයයි. ක්වන්ටම් විද්‍යාව අනුව ආලෝකයඇතුළු සියළුම විද්‍යුත් චුම්භක වර් ණාවලියේ තරංග වල ශක්තිය  එකිනෙකින් වෙනස් වූ සංඛ්‍යාත සහිත ෆෝටෝන කදම්භ වේ. මෙම ෆෝටෝන සහ ග්ලූවෝන  වලට ස්කන්ධයක් නොමැති අතර හිග්ස් බෝසෝනය තෙමේම ස්කන්ධය නම් ප්‍රපංචය ඇති කරන සර්ව ව්‍යාපී හිග්ස් ක්ෂේත්‍රයේ කම්පන වල ප්‍රක්ෂේපණයක් වේ.

No comments:

Post a Comment